Thursday, February 15, 2018

අධ්‍යාපනය ගැන යමක්

මෙයට වසර තුන හතරකට පෙර සිය ප‍්‍රථම උපාධිය හමාර කළ ඥාති නැගනියක මට සිටියි. රැකියා වෙළඳපොලට නොගැළපෙන ඇගේ උපාධිය අතේ තබාගෙන ඇය ආණ්ඩුවෙන් රැකියාවක් ලබාදෙන තෙක් බලා සිටියි. ගුරු පත්වීම් සඳහා වෙහෙසෙයි. දේශපාලකයන් පස්සේ යයි. රැකියාවක් නොලැබෙන විට දේශපාලකයන්ට පලූ පැලෙන්නට බනියි. ”උපාධිධාරීන්ට රැකියා දියව්”කියා පෙළපාලි යන්නට ඇය සූදානම් ය.


”මේ නාස්තිවන කාලයෙන් ප‍්‍රයෝජන අරගෙන තව ටිකක් ඉගෙන ගත්තනම් නරකද? තව ඉගෙනගන්න කොයි තරම් අවස්ථා තියෙනවද? චාටඞ් එකවුන්ටන්සි කරන්න කැමති නැද්ද?” මගේ යෝජනාව ඇගේ සිතේ කෝපයක් ඇති කරයි. ඇයට උපාධියක් ඇත. ඒ ඇති ය. විශ්ව විද්‍යාලයේ ඊනියා වාමාංශික දේශපාලනය ඇයට උගන්වා ඇත්තේ උපාධිධාරියකු නම් ආණ්ඩුවෙන් රස්සාවක් දිය යුතුය කියාය. ඒ නිසා ලබාගෙන ඇති උපාධිය හොඳටම ඇති ය. තව දුරටත් මහන්සිවන්නට අවශ්‍ය නැත. රස්සාවක් නොලැබෙන්නේ ආණ්ඩුවේ වරද නිසා ය.


මගේ දියනිය ඇගේ ප‍්‍රථම උපාධිය අවසන් කළේ මෙයට වසර පහකට පමණ පෙරදී ය. තමා උගත් අංශයෙන් ඇය පුද්ගලික ආයතනයක රැකියාවට ගියා ය. (ඔස්ටේ‍්‍රලියා රජය උපාධිධාරීන්ට රස්සා දෙන ජොබ් ඒජන්සියක් නොවේ) ඒ අතර පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද සම්පූර්ණ කළා ය.


”මට ලෝ කරන්න  ඕනෙ” වසර කීපයකට පෙර දිනෙක ඈ මට කීවා ය.

”කරන්න.. මට පුලූවන් විදිහට උදව් කරන්නම්” මම කීවෙමි.


ඈ රැකියාවෙන් ඉවත් වී නැවත විශ්ව විද්‍යාලයකට ඇතුල් වූවා ය. පසුගිය සතියේ ඈ නීති උපාධිය හමාර කළාය.

තව මාස කීපයකින් ඇය නීතිඥවරියක ලෙස දිව්රුම් දෙනු ඇත. ඉන්පසු අදාල ක්ෂෙත‍්‍රයේ රැකියාවක් සොයා ගත යුතුය. විවිධ සුදුසුකම් රැසක් ඇති ඇයට එය අපහසු නොවනු ඇත.


2000 වසරේදී මා මගේ විද්‍යාපති උපාධිය (Masters) හමාර කළ පසු මින් ඉදිරියට ඉගෙනගන්නේ නැතැයි තීරණය කළෙමි. ආචාර්ය උපාධියක් වැනි ආභරණයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්නට මගේ කැමැත්තක් නැති බැවිනි.  එහෙත් වසර කීපයකට පසු රැකියාව වෙනස් කරන්නට මට අවශ්‍ය විය. මම ඩිප්ලෝමාවක් සඳහා නැවත විශ්ව විද්‍යාලයකට ඇතුල්වූයෙමි. එය හමාර කර ඒ අංශයෙන් රැකියාවකට ගිය පසු දැන් ඉගෙනගත්තා ඇතැයි නැවත සිතුවෙමි. වසර පහක් රැකියාව කළෙමි. මේ රැකියාවේ ස්ථාවරත්වයක් ලබා ගන්නට නම් මේ ක්ෂෙත‍්‍රයේ උපාධියක් ලබාගත යුතු බව මට දැන් වැටහෙයි. දිග කල්පනාවකින් පසු නැවත උපාධියක් සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුල් වූයෙමි. එළැඹෙන සඳුදා සිට මම ඒ උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නට නැවත විශ්ව විද්‍යාලයට යමි.


භාෂා උපාධියක් අතැතිව වසර හතර පහක් තිස්සේ ආණ්ඩුවෙන් රස්සාවක් දෙනතෙක් බලා සිටිනා මගේ නැගනිය මට සිහිවෙයි. ලංකාවේ විශ්ව විද්‍යාල වල උගන්නා තරුණ තරුණියන්ගේ මානසිකත්වය මට නොවැටහෙයි. උන්ගේ සිත්වලට විෂබීජ ඇතුල් කර උන් දක්කාගෙන යන දේශපාලන බලවේග කෙරෙහි මට ඇත්තේ කෝපයකි. උන් මේ විනාශ කරමින් සිටින්නේ ජාතියක ජීවනාලිය වන් උගත් තරුණ පරපුරේ මනස ය.


රිසි ලෙස අධ්‍යාපනය ලබන්නට අවසර ඇති මා ජීවත් වන මේ පරිසරට මා ණයගැතිය. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට එරෙහිව පෙළපාලි යන පටු අදහස් ඇති මිනිසුන් මේ රටේ නැති වීම කොයි තරම් දෙයක්ද?   

5 comments:

  1. ඔක්කොම හරි හැබැයි මේකට එකඟ වෙන බෑ "ආචාර්ය උපාධියක් වැනි ආභරණයක් " මොකද ආචාර්ය උපාධිය යනු අළුත් දැනුම එකතු වීමක් විනා පලඳනාවක් නොවන නිසා. සමහරු මිලදී ගන්නවා හැබැයි දන්නෝ දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි.. ඔබේ අදහසේ ඇත්තක් තිබෙනවා.. ඒත් අපි හැමදාම දැනුම එකතු කරගන්නවා.. ඒකට ආචාර්ය උපාධියක්ම අවශ්‍ය නැහැ.. ආචාර්ය උපාධි නොලත් එහෙත් ඉතාම උසස් දැනුමින් පොහොසත් උගතුන් අනන්තවත් ඉන්නවා.. ලංකාවේ ආචාර්ය උපාධි පාවිච්චි වෙන්නෙ බොහෝ විට ආභරණයක් හැටියට තමයි.. ඒ නිසානෙ පිනාචාර්ය උපාධි පවා ඇවිත් තියෙන්නෙ.. සමහර අය කැමතියි ඒ ආභරණය නමට ඉස්සරහින් එල්ලගන්න.. ශාස්ත‍්‍ර ගවේශනයට නෙවෙයි.. ලස්සනට..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ කරුණත් ලිවිය යුතුයි.

    කවි කෙටිකතා යන ආදී නිර්මාණ කර, නමට ඉස්සරහින් ආචාර්ය වෛද්‍ය නීතිඥ වැනි තනතුරු තමන්ම යොදන අය මා දැක තිබෙනවා. ඒවා නම් තේරුමක් නැති අපුල වැඩ.

    නමුත් එසේ කිසිදිනක නොකරන අයත් ඉන්නවා. ඔය තියෙන්නේ උදාහරණයක් උඩින් kandyan කියා.

    මාත් පීඑස්ඩී උපාධිය වැරදීමකින් හෝ සම්පූර්ණ කළා නම් කිසි දිනක එලෙස නොලියන්නටයි එදා සිටම හිතාගෙන සිටියේ.

    ReplyDelete
  4. මල කෙලියයී,ඡූළී හතයි

    ReplyDelete