Monday, June 25, 2018

Π අකුරෙ කතාව

මං අටේ පන්තියට කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුල්වෙන්නෙ හතේ පන්තිය කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගත කරළා. උඩහමුල්ල තලපත්පිටියෙ පුංචි ඉස්කෝලෙ ඉඳන් මාව ශාන්ත තෝමස් එකට දැම්මෙ අපේ අම්ම. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන තලපත්පිටියෙ ඉස්කෝලෙට ගිය මට සපත්තු දාන්න වුණේ ශාන්ත තෝමස් විද්‍යාලයට යන්න වුණ නිසා. ඒ කාලෙ හිටිය ප‍්‍රින්සිපල් කබ්රාල් කියල උස මහත්තයෙක්. (ඒ මහත්තයගෙ පුතත් ඒ ඉස්කෝලෙම අපට ඉහළ පන්තියක ඉගෙන ගත්තා. මගෙ මතකෙ හැටියට එයාගෙ නම අජිත්) අපේ තාත්තත් කාලයක් මේ ඉස්කෝලෙ ඉගෙනගෙන තිබුණ නිසා මටත් මුළදි පොඩි සතුටක් තිබුණා.


කතෝලික ඉස්කෝලයක් වෙච්ච ශාන්ත තෝමස් විද්‍යාලයෙ මම ගත කළ අවුරුද්ද තුළ මම මතක හිටින නමක් තිබ්බා කියන එක නම් මට අමතක වෙන්නෙ නැහැ. හයේ පන්තියෙ ඉඳන් නවකතා ලිව්ව, ඒ වෙනකොට පොත් හත්සීයක් කියවලා තිබණ, මට අලූත් ඉස්කෝලෙ වැඩ කිරිකජු වගේ ලේසිවුණා. හැම තිස්සෙම පාඩුවෙ පැත්තකට වෙලා හිටිය කුලෑටි ළමයකු වූ මා ළඟට එන ඉහළ පන්තිවල කෙල්ලො කොල්ලො අහනවා ”ඔයාද හතේ පන්තියෙ ජගත්.. අපේ ටීචර් කිව්වා දක්ෂ ළමයෙක් ඇවිත් ඉන්නවා කියලා” ”ඔයා ලස්සනට රචනා ලියනවලූ නේද?” ”ඔයාගෙ අත් අකුරුත් ලස්සනයිලූ නේද?” ”ඔයා හරි ගණන්කාරයලූ නේද?” කතා ගොඩයි.


මේ ඉස්කෝලෙ බෞද්ධ ළමයි හිිටියෙ අපි දෙතුන් දෙනයි. ක‍්‍රිස්තියානි ආගම උගන්වන වෙලාවට බෞද්ධ ළමයි ලයිබ‍්‍රරි එකට හරි කැන්ටිමට හරි යනවා. එහෙ මෙහෙ රස්තියාදුවෙන්න කැමති නැති මං කරන්නෙ ඒ පන්තියෙ පස්සෙම පේළියකට ගිහින් ඉඳගෙන මගේ වැඩක් කරගෙන ඉන්න එක. දවසක් ආගම උගන්නපු සිස්ටර් ඇවිත් මගේ ඔලූව හිල්වෙන්න ටොක්කක් ඇන්නා පාඩමට ඇහුම්කන් දෙන්නැහැයි කියලා. මගේ ඇස් වලට කඳුළු ආවා. (මං කොහොමත් පොඞ්ඩ ඇත්නම් අඬන ළමයෙක්) ”මං බුද්ධාගමේ සිස්ටර්” මං බොහොම අමාරුවෙන් කියාගත්තා. ඒ ගමන ඒ අමන සිස්ටර් හතේ පන්තියෙ පුංචි දරුවකු වෙච්ච මට කියපු නරක කතාව මට ඒ ඉස්කෝලෙ එපාම කෙරෙව්වා. (ඒ කතාව මං කොහෙවත් ලියන්නෙවත් කියන්නෙවත් නැහැ. මං වචනෙකින්වත් ජාතිවාදයටවත් ආගම්වාදයටවත් උඩගෙඩි දෙන්න අකැමැති නිසා)


ඒ කාලෙ අපට ගණිතය උගන්නන්න ආව වයසක ගුරුවරයෙක් භාග සංඛ්‍යා වල හරය සහ ලවය මතක තියාගන්න කියා දුන්න ක‍්‍රමයත් මට තාම මතකයි.


”ළමයි.. හරක පිටේ ළමය නැගල ඉන්නවා කියලා මතක තියාගන්න.. හරය යට.. ලවය උඩ”



ඒ ඉස්කෝල හිටපු අවුරුද්දෙ මං හැමදාම පන්තියේ පළමුවැනියා. ඒත් මං පන්තියට ගියේ සතියට දවස් හතරයි නැත්නම් තුනයි. හැකි හැම වෙලාවෙම කට්ටි පැන්නා. කට්ටි පැනලා කොහෙවත් ගියේ නැහැ. ගෙදර තමයි හිටියෙ. උදෙන්ම ඉස්කෝලට යන්න පිටත්වෙන මම ටික දුරක් ගිහිල්ලා හැරිලා ගෙදර එනව. අම්මයිි තාත්තයි ව්‍යාපාරික වැඩ වලට යන නිසා අහන්න කවුරුවත් හිටියෙත් නැහැ. හිටියෙ ආච්චි විතරයි. උන්දැට ඒක ඒ හැටි ගාණක් වුනේ නැහැ. කට්ටි පැනලා පහුවෙනිදට මමම ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ අම්ම ලියන විදිහට ලියුමක් ලියාගෙන අම්මගෙ අස්සන මමම ගහගෙන ගිහින් පන්තිබාර සර්ට දෙනවා. 


ඒත් කාලයක් යනකොට ගෙදර අයට මේක තේරුණා. කෝට්ටෙ ආනන්ද ශාස්ත‍්‍රාලයේ හිටපු උප විදුහල්පති සමරකෝන් මහත්තයා තාත්ත එක්ක එකට විශ්ව විද්‍යාලෙ ඉගෙන ගත්ත යාලූවෙක්. තාත්ත සමරකෝන් මහත්තයට කියලා මාව ආනන්ද ශාස්ත‍්‍රාලයට දැම්මා අටේ පන්තියට. ආනන්ද ශාස්ත‍්‍රාලයේ මං ගත කළ ජීවිතය හරිම රසවත් එකක්. නමයෙ පන්තියට යනකල් මං හැමදාම පන්තියේ පළමුවැනියා. අටේ පන්ති අටෙන්ම පළමුවැනියා වෙලත් තියෙනවා. ඒත් මං කවදාවත් පණදාගෙන මහන්සිවෙලා පාඩම් කළ ළමයෙක් නෙවෙයි. බොහොම සැහැල්ලූවෙන් කතාවක් ලියාගෙන චිත‍්‍රයක් ඇඳගෙන හිටිය ළමයෙක්. 


මේ වල්පල් පුරසාරම් කතාව කියවාගෙන ඇවිත් ඔන්න දැන් තමයි මට කියන්න  ඕනෙ කතාවට එන්නෙ.


අටේ පන්තියෙදි අපට ගණිතය උගන්නන්න ආව සර්ගෙ නම සිරිදාස (නියම නම නෙවෙයි) වැඩිය උස නැති, හිස පිරෙන්න තට්ටය තිබුණ, සුද්දෙක් වගේ සුදු සිරිදාස මහත්තය පන්තිට ආවේ රෝල් කරගත්ත හීනි වේවැලකුත් අරගෙන. එයාට හරියට තරහ යනවා. තරහ ගියාම මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙනවා. ඇස් රතුවෙනවා. කේතියෙන් වෙවුලනවා. අර වේවැල දිගඇරලා වැරදිකාරයන්ට දෙනවා කිස් කැවෙන්න පාර දෙක තුනක්. (දැන් කාලෙ නම් ඒ මහත්තය පොලිස්සියෙ රිමාන්ඞ් එකේ තමයි නවතින්නෙ. ඒ කාලෙ අම්මල තාත්තලා දැන් අයට වඩා බුද්ධිමත් වෙන්න ඇති)


දවසක් සිරිදාස සර් පන්තිය ආවෙ බොහොම බැ?රුම් පෙණුමක් දාගෙන.


”ළමයි අද අපි අලූත් අකුරක් ඉගෙන ගන්නයි යන්නෙ” සර් කිව්වා. ගිහින් කලූ ලෑල්ලෙ අමුතුම අකුරක් ඇන්දා. Π  ”ළමයි මේ අකුරට ගණිතයෙ වටිනාකමක් දීලා තියෙනවා.. මේකෙ වටිනාකම තමයි හතෙන් විසිදෙක..” ඔහු කලූලෑල්ලේ ලිව්වා 22/7 කියලා. ඊළඟට හැරුණා පන්තිය දිහාට. සර්ගෙ නළලෙන් දාඩියත් දානවා. එදා ඒ හැටි රස්නෙ දවසකුත් නෙවෙයි. සර් අර රෝල් කරපු වේවැල අතට අරගෙන අතපත ගාලා ආපහු තිබ්බා.


”ළමයි මේ අකුරෙ නම ෆයු” සර් ඊළඟට කිව්වා. ”මොකක්ද..?”


”ෆයු” අපි කෑගහලා කියනවා.


”බොහොම හොඳයි.. ඒත් ළමයි මේකෙ ශබ්දය වඩාත් ළංවෙන්නෙ ෆයි කියන එකට” ඒ පාර එයා කොල්ලන්ට කිව්වෙ නැහැ ඒක කියන්න කියලා.


දැන් සර් හැරෙනවා කලූලෑල්ල දිහාට. සාක්කුවෙන් ලේන්සුවක් අරගෙන නළල පිහදාගන්නවා. ඊළඟ වතාවෙ එයා කතා කරන්නෙ අපි දිහා බලාගෙන නෙවෙයි. කලූලෑල්ල දිහා බලාගෙන.


”හැබැයි ළමයි මේක හරියටම ශබ්ද කරනවා නම් කියන්න  ඕනෙ... කියන්න  ඕනෙ පයි කියලා..”


කොල්ලො ”මීක්” ගෑවෙ නෑ. සර්ගෙ වේවැලට බය නිසා. ඒත් තද කරගත්ත හිනාවක් දෙකක් එහෙන් මෙහෙන් යාන්තමින් පැන්නත් සර් ඇහුන්නෑ වගේ හිටියා.




පසු කතාවක්


පාසල් කාලය හමාර වෙලා අවුරුදු දහයකට විතර පස්සෙ දවසක මම ගෙදර හිටිය නිවාඩු දවසක යම්කිසි කෙනෙක් අපේ ගේට්ටුව ළඟ කැරකෙනවා දැක්කා. ගිහින් බලද්දි මූණ පුරා රැුවුළ වවාගත් පරණ අත්කොට කමිසයක් සහ පරණ සරමක් ඇඳගත් කෙනෙක් ගේට්ටුව ළඟ ඉන්නවා. දෙයියනේ සිරිදාස සර්.


”සර්” මං ළඟට දුවගෙන ගියා. සර් බොහොම අහිංසක විදිහට හිනාවුණා.


”මං ඇතුළට එන්නෙ නැහැ ජගත්.. මං ආවෙ උදව්වක් ඉල්ලගන්න” ඔහු කිව්වා ”මට ලොකු කරදර ගොඩක් වුනා.. තියනවනම් මට අඳින්න කමිසයක් සරමක් ඉල්ලගන්න ආවෙ” ඔහු හෙමින් කිව්වා. මගේ පපුව හෝස් ගාල පත්තු වුණා. මං ගෙදර දුවල ගිහින් අලූත්ම කමිස දෙකකුයි සරම් දෙකකුයි ගෙනත් සර්ට දුන්නා. ආයෙමත් අර අහිසංක හිනාව දාලා ඔහු පාගොඩ පාර පැත්තට හෙමින් හෙමින් ඇවිදගෙන යන හැටි මං ඇස්වලට පිරිච්ච කඳුලූ අතරින් බලං හිටියා. එදායින් පස්සෙ මං කවදාකවත් සර්ව දැක්කෙ නැහැ..


ගුරුවරු දෙවිවරු වෙති. ඒ මගේ ඇදහීමයි.


ඒ ප‍්‍රකාශය වඩාත් නිවැරදිව කරන්නට මම කැමතියි. ”ඒ කාලයේ බොහෝ ගුරුවරු දෙවිවරු වූහ”

4 comments:

  1. ජගත් "මිණි ගං දැල"ට ලියලා තියෙන ගීතය ගීතය ඉතාම අරුත්බරයි. සමන්ගේ සංගීතය ටොප් ක්ලාස් සහ චරිත්ගේ ඩිරෙක්ටින්ග් වෙඩිවගේ. ගායනය ගැන කියන්න ඕන නැහැනේ.

    ReplyDelete
  2. සිරිදාස සර්ගෙ කතාව හරිම කනගා‍ටුයි. මම ඔබ නම්, ඔහු ගැන ඊට වඩා සොයා බලා හැකි දෙයක් කරනවා.

    මෙයට සමාන මා දු‍ටු "ජීවිතේ සැඳෑ සමයේ" ඛේදවාචක ගැන කියන්න තිබුනත් දැන් වෙලාවක් නෑ. වැඩට ගිහින් ඇවිත් හෙට ලියන්නම්

    -ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක් -

    ReplyDelete
  3. මා ඔබ නං අර පූජකවරිය කියපු කතාව හංගන්නෙ නැතුව කියනවා. මොකද එක ජරා මිනිහෙකුගේ හෝ ගැහැනියකගේ කතාවක් නිසා ආගම හෝ ජාතියක් හෝ නින්දාවට පත් වන්නේ නෑ.

    ReplyDelete
  4. ඉතාමත් සුන්දර කතාවක් එක හුස්මට කියවගෙන ගියා. ජගත් මට් සටහන් කළ යුතුම දෙයක් තියනවා ඔයාගේ මේ රසවත් සිදුවීම් සමග මම අනුරාධපුර සාන්ත ජෝසප් මහා විදුහලේ ඉගෙන ගන්න කාලයේ අපේ පන්තිය භාර වගේම ගණිතය සහ ක‍්‍රිස්තියානි ආගම උගන්වන ලද්දේ ගරු ලෝරන්ස් පෙරේරා සහෝදර තුමා . එතුමා අපිට පන්තියේදී මෙන්න මෙහෙම දෙයක් ඉගෙන්නුවා සැමවිටකම නින්දෙන් උදේ අවදි වූ විට සහ රාත්‍රියේ නිදාගන්නට පෙර "සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා" පවසා දෙවනුව "මා නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා" පවසන් ලෙස සිත් සන්සුන් කරගෙන. (අදටත් මා එය පිලි පදිමි ) ඒ වගේම පුංචි කාලෙය් සිටම බයිබල් පොතපත කියවා හෙම්බත් වී සිටි මම එතුමාගේ අනු දැනුම ඇතුව බෞද්ධ දහම විෂයක් ලෙස ඉගෙනගෙන මගේ අපොස සාමාන්‍ය පෙළ සම්මානයක් ලැබුවෙමි . ඒ වගේම මෙම කාරුණික ගුරු පියාණන් 1983 පමණ ඔබ වසරක් පමණක් උගත් කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ලෙස පැමිනි අතර එම කාලයේ සිංහල සිනමාවට සුවුසල සේවයක් කළ ගරු අර්නස්ට් පොරුතොට පියතුමාද කෝට්ටේ ශාන්ත තෝමස් පල්ලිය භාරව සිටි බව මම දනිමි .

    ReplyDelete