Friday, May 21, 2021

මැයි මාසයේ ආ පත්තරයක කතාවක්


මැයි මාසය එළැඹෙනවිට මතක පොත පුරා ලියැවෙන කතා රැසක් මගේ ජීවිතයේ ඇත.  ඕස්ටේ‍්‍රලියාවේ පහන සඟරාව පිළිබඳ මතකය එවැන්නකි.


ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලාංකික ප‍්‍රජා පුවත්පත් අතර සෙරෙන්ඩිබ් නිව්ස් ඉංග‍්‍රීසි පුවත්පතට හිමිවන්නේ සුවිශේෂ තැනකි. ප‍්‍රජා පුවත්පතක් නොමිලයේ ලබාදිය හැකිය යන සංකල්පය අපේ සමාජය හමුවේ තැබුවේ ඒ පුවත්පතයි. පුවත්පත බිහිවන්නේ මා මෙල්බනයට පා තබා වසරකට දෙකකට පසුව යයි සිතමි. මේ ඉංග‍්‍රීසි පුවත්පතේ සිංහල පිටුවක් පවත්වාගෙන යන්නට ද උත්සාහයක් ගෙන තිබුණි. ඒ සිංහල පිටුව සකස් කළේ කව්දැයි මා තවමත් දන්නේ නැත. මේ පිටුව කියැවූ වහාම මට ඇතිවූයේ බලවත් කණගාටුවකි. ඒ පිටුව පුරා තිබූ වැරදි අප‍්‍රමාණ විය. මා ඒ සියල්ල රතු පෑනකින් ලකුණු කර පුවත්පතේ තිබූ ලිපිනයට යැව්වේ සිංහල පිටුවක් කරනවා නම් එය නිවැරදිව කරන්න යයි ඉල්ලමිනි.


එයින් මාස කීපයකට පසු මට මගේ කන්ද උඩ මාළිගාව කෙටිකතා පොත සම්බන්ධ සම්මුඛ සාකච්ඡුාවකට  3zzz ගුවන්විදුලියෙන් ආරාධනයක් ලැබුණි. මගේ සාකච්ඡුාවට පෙර ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති කියවමින් සිටි නිවේදිකාව මැදිරියෙන් පිටව එන අතරතුර මට හඳුන්වා දුන්නේ ගීතිකා වීරකෝන් ලෙස ය. ඇය එවකට සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සංස්කාරිකාව වූවා ය. ඇය සමග ඇගේ සැමියා වූ විරෝෂ් පෙරේරා ද විය. 


”එදිරිසිංහ මහත්තයා හමුවෙන්නමයි හිටියෙ.. අපට එව්ව ලියුම ලැබුණා.. අපි ඒ අඩුපාඩු පිළිගන්නවා.. අපි කැමතියි මේ සිංහල පිටු වල වගකීම ඔබටම පවරන්න. අපේ පත්තරේ සිංහල පිටු අපට සංස්කරණය කරලා දෙන්න” ඔවුහු ඉල්ලා සිටිය හ. මම කැමතිවීමි. එතැන්සිට අවුරුදු දෙකක පමණ කාලයක් මම සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල පිටු සංස්කරණය කළෙමි. සිංහල පිටු ප‍්‍රමාණය පිටු හයක් දක්වා වැඩි කරන්නටද මට හැකි විය. ඒ පිටු ලේඅවුට් කරන ලද්දේ ද මවිසින්ම ය. ”ඔස්ටේ‍්‍රලියාවෙ පත්තරවලට පේජ් ලේඅවුට් කියන එක අඳුන්නලා දුන්නෙත් ජගත්” වරක් මා මිත‍්‍ර මාධ්‍යවේදී චරිත දිසානායක උත්සවයක කතාවක් පවත්වමින් කියූ සැටි මට මතක ය. 


වරුණ සාවින්ද සොයුරා මා හා මිත‍්‍ර වන්නේ මේ වකවානුවේ ය. අප පළමුව හමුවන්නේ ඔහු මා සමග සම්මුඛ සාකච්ඡුාවක් පටිගත කරගැනීමට හයිඞ්ල්බර්ග් හි පිහිටි මගේ නිවසට ආ දිනයේ දීය. එදා සෙව්වන්දිකා ද විය. වැඩ සටහන ”සෞන්දර්ය චාරිකා” නම් විය. අපේ මිත‍්‍රත්වය දියුණුවත්ම තනි සිංහල පුවත්පතක් බිහිකිරීමේ අවශ්‍යතාව පිළිබඳව කතාව අප අතර ඇති විය. වරුණ මේ කාර්යයේදී සිය හිතවතුන් රැුසකගේද සහයෝගය අපට ලබාගත්තේ ය. අසෝක සිල්වා, නුවන් සමරපති, ප‍්‍රසන්න කුරුකුලරත්ත, ජගත් මුණසිංහ, ජගත් කොතලාවල වැනි නම් රැසක් මගේ මතකයට එයි. අතපසු වූ නම් ඇත්නම් සමාවන්න.


”ජගත් මල්ලි. ඔයාගෙ ටැලන්ට්ස් අපතේ යවමින් ඉන්න එක අපරාදයක්.. ඔයා සිංහල පත්තරයක් පටන්ගන්න.. මං සල්ලි දාන්නම්” බන්දු දිසානායක මහතා මට කීවේද මේ අවදියේදී ය. අප ම මුදල් එකතු කර පුවත්පතක් පටන්ගත යුතුය යන මතයේ වරුණත් මාත් සිටි බැවින් මම බන්දු අයියාට වචනයක් නොදුන්නෙමි.


අපේ පුවත්පතේ වැඩ කටයුතු සංවිධානය ඉක්මණ් ගමනින් ඉදිරියට ගියේ ය. වරුණ ”පහන” යන නම යෝජනා කළේ ය. අපි කැමතිවීමු. සම සංස්කාරකවරුන් ලෙස වරුණත් මමත් පහන ආරම්භ කළෙමු. අපේ හිතවත්තු හැකි පමණින් ආධාර කළ හ. අසෝක සිල්වා ඒ අතරින් ඉදිරියෙන් ම සිටියේ ය. 


2003 මැයි මාසයේදී අපි පහන මංගල කළාපය නිකුත් කළෙමු. ඒ වෙනුවෙන් ඩැන්ඩිනොන් ආර්ට් සෙන්ටර් හිදී පැවති උත්සවයට මෙල්බනයේ සමාජ කටයුතුවල ඉදිරියෙන් සිටි බොහෝ පිරිසක් සහභාගි වූහ. ඒ වෙනුවෙන් වරුණ ලියූ කළිඳු වීරසිංහ සොයුරා ගේ තනුවෙන් අලංකාර වූ කළ ගීයක් නිර්මාණය කෙරුණි. සෙව්වන්දිකා අබේරත්න, නෙලූම් ලියනගේ, අතුල රංජන හා ජගත් මුණසිංහ ගායනා කළහ. කළිඳු වීරසිංහගේ සංගීතයට විහඟ විජේසේකර තබ්ලාවෙනුත් මම ගිටාරයෙනුත් එක්වීමු. උදුම්බරා සහ රංගන නර්තනයෙන් උත්සවය රසවත් කළ හ. 


ඒ අවස්ථාව ඉතිහාසගත කරමින් ප‍්‍රසන්න කුරුකුලරත්න තැනූ වීඩියෝව මේ සමග වෙයි. 


පහන ඔස්ටේ‍්‍රලියාව පුරා අතිශය ජනප‍්‍රිය පුවත්පතක් බවට පත්විය. ලේඛක ලේඛිකාවන් රැුසක් පහන ඔස්සේ බිහිවුණි. අපි බොහෝ වෙහෙස වී පහන ඒ තත්වයට ගෙන ආවෙමු. ඒ ගමන අපූරු ය.


ඒ සියල්ල නැවත ස්මරණය කරමින් සතුටුවන්නට අද මට හැකි ය. 






3 comments:

  1. ආයෙ කෙටිකතා තරගයක් වත් තියමුද?

    ReplyDelete
  2. මේ වීඩියෝව බැලීමෙන් පසු ඩීබී කුරුප්පු කියා ගෙන ආ කතාවේ ඉතිරි කොටස දැනගන්නකම් ඉවසුමක් නැහැ

    මා දැක ඇති වරුණ සාවින්ද නං රැවුලෙක්

    ReplyDelete
  3. /* ජගත් මල්ලි. ඔයාගෙ ටැලන්ට්ස් අපතේ යවමින් ඉන්න එක අපරාදයක්.. ඔයා සිංහල පත්තරයක් පටන්ගන්න.. මං සල්ලි දාන්නම්” බන්දු දිසානායක මහතා මට කීවේද මේ අවදියේදී ය. අප ම මුදල් එකතු කර පුවත්පතක් පටන්ගත යුතුය යන මතයේ වරුණත් මාත් සිටි බැවින් මම බන්දු අයියාට වචනයක් නොදුන්නෙමි */

    දෛවයෝගය

    ReplyDelete