ලංකාවේ පළමු චිත්‍රකතා පත්තරය වූ ලේක්හවුසියේ සතුටත් ඉන්පසු පළවූ ටයිම්ස් ආයතනයේ රූපරේඛා පත්තරයත් ඒ කාලයේ අපි මිලට ගත්තෙමු. මා ලියූ කවියක් පළමු වරට පළවූයේ රූපරේඛා පත්තරය සමග ආ ළපටිපෙළ අතිරේකයේ ය. එනිසා රූපරේඛාවට අදත් මගේ සිතේ මහත් කැමැත්තක් වෙයි. අපේ තාත්තා ගේ වෙළඳ ව්‍යාපාරය නිසා ලංකාවේ පළවන හැම පත්තරයක් ම කියවන්නට අපට වාසනාව ලැබී තිබුණ අතර ඒ නිසා ම පුවත්පත් කියැවීමේ ඇබ්බැහියක් අප අතර විය. විශේෂයෙන් මේ ඇබ්බැහියට ගොදුරු වි සිටියේ අයියාත් මාත් ය. අපි කියවූ පත්තර වලින් කීපයක් සතිපතා අපි අයිති කර ගත්තෙමු. නවයුගය, මිහිර, සතුට, රූපරේඛා, සරසවිය, සිළුමිණ හා රිවිරැස අප සතිපතා අයිතිකරගත් පත්තරයි.
සිත්තර බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා වූයේ බම්බලපිටියේ ගාලුපාර අයිනේ වෙරළ පැත්තට යන මාවතක පිහිටි ලියනගේ නම් වූ (මට මතක හැටියට) මහතෙකු ගේ පත්තර ඒජන්සියයි. සිත්තර ආ යුගයේ එයට තිබූ අති මහත් ඉල්ලුම නිසා වෙළඳසැලකට ඒ පුවත්පත ලබා ගැනීම විශාල අභියෝගයක් විය. ලියනගේ මහතාත් අපේ තාත්තාත් අතර වූ හැඳුනුම්කමක් නිසා අපට සිත්තර පත්තර 500 ක කෝටාවක් ලැබී තිබුණි.
සිත්තර වෙළඳසල්වලට බෙදාහැරියේ නැත. පත්තර කෝටා හිමි අය බම්බලපිටියට ගොස් ලියනගේ මහතා ගේ පත්තර ඒජන්සියෙන් පත්තර ලබා ගත යුතු විය. මේ රාජකාරිය මොන ක්‍රමයකින් හෝ පැවරුණේ කුඩා මට ය. සෙනසුරාදා උදෑසන තාත්තා දෙන මුදල සාක්කුවේ දමා ගන්නා මා බස් දෙකකින් බම්බලපිටියට ගොස් පත්තර 500 මිටි දෙක දෑතින් ගෙන නැවත ඇඹුල්දෙණියට ආ හැටි මට තවමත් මතක ය.
එක සෙනසුරාදාවක සිදුවූයේ මහා ඇබැද්දියකි. මම බම්බලපිටියෙන් බැස ලියනගේ මහතා ගේ පත්තර ඒජන්සියට ගොස් මුදල් ගෙවන්නට සාක්කුවට අත දැම්මෙමි. සාක්කුවේ තිබූ මුදල් අතුරුදන් ය. එක්කෝ කවුරුන් හෝ පොකට් ගසලා ය. නැත්නම් සාක්කුවෙන් බිම වැටිලා ය. මොන දේ වුණත් දැන් ගෙවන්නට මගේ අතේ මුදල් නැත. පත්තර ගේන්නට ගිය කුඩා දරුවා හඬන්නට ඔන්න මෙන්න ය.
“ළමයි, එදිරිසිංහ මහත්තයගෙ පුතාට පත්තර ටික දෙන්න” ලියනගේ මහතා සේවකයන්ට කීවේ ය. “පුතා ලබන සතියෙ ආවාම සල්ලි ගෙවන්න” ඔහු මා අස්වැසුවේ ය.
මම ඒ කාලයේ සිට ම චිත්‍රකතා පිස්සෙක්මි. ඒ වන විටත් පොත් හත් අටසීයක් කියවා සිටි මට චිත්‍රකතාවක හොඳ නරක තේරුම් ගන්නට හොඳ දැනුමක් සහ හැකියාවක් විය. චිත්‍රකතාවක් පාඨක සිත් ගන්නේ එහි චිත්‍ර නිසා ම නොවේ. කතාවේ හරවත් බව පමණක් නොව දෙබස් පවා එයට බලපායි. බන්ධුල හරිශ්චන්ද්‍ර, පී වික්‍රමනායක, දයා රාජපක්ෂ, ජනක රත්නායක වැනි ශිල්පීන් සදා අපේ මතකයේ රැඳී ඉන්නේ ඔවුන් ඉදිරිපත් කළ කතා වල තිබූ ප්‍රබලත්වය නිසා ම ය. කවුරු මොනවා කීවත් චිත්‍රකතාව බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉතා ආධුනික චිත්‍රශිල්පීන් අතින් බිහිවුණ හරයක් නැති චිත්‍රකතා වලින් චිත්‍රකතා පත්තර පිරී යාම ය යන්න මගේ පිළිගැනීමයි. අනෙක් කාරණය හතු පිපෙන්නාක් මෙන් විවිධ නම් වලින් කසිකබල් චිත්‍රකතා පත්තර බිහිවීමයි. කුමන හේතුවක් නිසා සිදු වුව ද ලංකාවේ චිත්‍රකතා පත්තර අභාවයට යාම ඉතා කනගාටුදායක කතාවකි.
සිත්තරෙන් සංවිධානය කළ එහි පළ වන චිත්‍රකතා සඳහා ගී පද ලිවීමේ තරගයටද ගී ලිව්වෙමි. එය වෙනම කතාවකි.. ආධුනිකයන් සඳහා අවස්ථාව දෙනවා යයි කියූ නමුත් අවසානගේ කැසට් පටය එළියට එන විට එහි සිටියෝ ඒ වන විටත් නමක් දිනාගෙන සිටි ගී පද රචකයෝ ය.
චිත්‍රකතාවට නැවත පණ දෙන්නනට දරණ උත්සාහය අගය කළ යුතු ය. නැවත දවසක චිත්‍රකතා පත්තරයක් ලංකාවේ බිහිවනවා නම් සතුටු වන පිරිස අතර ඉදිරියෙන් ම සිටින්නට මම කැමැත්තෙමි.
මම තවමත් චිත්‍රකතා පිස්සෙක්මි.
රසික සූරියාරච්චි සංස්කරණය කරන සිසිල ඔන්ලයින් සඟරාවට ලියූ ලිපියකි
ස්තුතියි ජගත්.
ReplyDeleteජගත් ගේ කෙටි සටහන් තීරු ලිපිය සහ තව ලිපි රාශියකින් සමන්විත සිසිල මාසික ඊ-සඟරාවේ පිටපත් ලබා ගැනීමට sisila.sangarawa@gmail.com
වෙත ඊ-මේලයක් එවන්න.