Wednesday, April 13, 2016

මහින්ද මහත්තයා ආ දා

මහින්ද මහත්තයා ආ දා


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපට ආගන්තුක පක්ෂයක් නෙවෙයි. අපේ සීයා - ඒ කිව්වෙ තාත්තගෙ තාත්තා - එස් බඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහත්තය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන්න ක‍්‍රයා කළ පුරෝගාමී ශ‍්‍රී ලංකා කාරයෙක්. කුලියාපිටියේ උප නගරාධිපති වෙලා හිටිය සීයා - ෆ‍්‍රැන්සිස් පී ජේ එදිරිසිංහ - ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් සාමාජිකයන් පහළොස්දෙනාගෙන් කෙනෙක්. ඒ පක්ෂය පිහිටුවපු දා බණ්ඩාරනායක මහත්තය එක්ක ඒ පහළොස්දෙනා එකට ඉඳලා ගත්ත ඡුායාරූපයක් කුලියාපිටියේ තාත්තාගේ මහගෙදර තිබුණා. තවමත් තියෙනවද දන්නෙ නැහැ.


ඒත් අපේ තාත්තා තරුණ වියට එළැඹෙත්ම ඇදී ගිහින් තිබුණෙ එස් ඒ වික‍්‍රමසිංහ මහත්තයගෙ කොමියුනිස්ට් පක්ෂයටයි. ජාතික ඉතිරිකිරීමේ සේවයේ ව්‍යාප්ති නිලධාරියකු ලෙස ලංකාවේ එක් එක් පළාත්වල කච්චේරි වලට මාරු වෙච්ච තාත්තා හම්බන්තොට කච්චේරියේ සේවය කරන කාලෙ තමයි මං හිතන්නෙ එස් ඒ වික‍්‍රමසිංහ අඳුනාගන්නෙත් කොමියුනිස්ට් පක්ෂයට සමීප වෙන්නෙත්.  (ඔය කාලෙම තමයි මං, හුංගම තාත්තා පදිංචි වෙලා හිටිය ගෙදරදි ත්, මල්ලි මාතර රෝහලේදි ත් උපත ලබන්නෙ. මේ කියන කාලෙ අපි හිටියෙ හුංගම බටඅත කියන වල් අලි හිටිය කැලෑවට මුහුණ දාලා තිබුණ කොළඹ කතරගම පාරෙ ගෙදරක. ඒ කතාව පස්සෙ ලියන්නම්)


තාත්තා කාලෙකට පස්සෙ ගමට - නුගේගොඩට - ස්ථිර පදිංචියට ආවා. ඒ කාලෙ එයා බොහාම ක‍්‍රියාකාරී ලෙස දේශපාලනයේ යෙදුණා. මට මතකයි තාත්තගෙ ”මෝටගසි” මොා්ටසයිකලයේ රතු කොඩියක් ගහගෙන අපේ ලයනල් මාමා එක්ක කොමියුනිස්ට් පක්ෂයේ මැයි පෙළපාලිවල ගිය හැටි. ඒ උද්‍යෝගිමත් කොමියුනිස්ට්කාරයා ටික කාලෙකට පස්සෙ ඒ දේශපානයෙන් අයින් වුණා. හේතුවක් මං දන්නෙ නැහැ. මං ඇහුවෙත් නැහැ. ඊළඟ පාර ලංකාවට ගියාම තාත්තගෙන් ඒ ගැන අහන්න  ඕනෙ.


දේශපාලනයෙන් අයින් වෙලා හිටියත් තාත්තා වාමාංශික දේශපාලන ව්‍යාපාර වලට හැකි පමණින් උපකාර කළ බව මට මතකයි. ජවිපෙ ප‍්‍රභල සාමාජිකයකුව සිටි, ඒ නිසාම දේපළ පවා අහිමි කරගත්ත, පසු කලෙක ජවිපෙ අතින්ම වෙඩි කා මිය ගිය දේව බණ්ඩාර සේනාරත්න 77 මැතිවරණයෙදි පළමු වතාවට කෝට්ටෙ ඡුන්ද කොට්ඨාශයෙන් (?* ඡුන්දයකට ඉදිරිපත් වෙච්ච වෙලාවෙ ඔහුට තාත්තා මුදලින් ආධාර කළ බව මට මතකයි.


අසූව දශකයේ මුල එක්තරා දවසක ලයනල් සරත් මාමා අපේ මහගෙදරට ගොඩ වුණා. ගෙදර හිටියෙ තාත්තයි මායි විතරයි. ලයනල් සරත් මාමා එක්කම තවත් උස මහත තරුණයෙක් ගෙට ගොඩ වුණා. ඔහු මහින්ද රාජපක්ෂ. විපක්ෂයේ ජනප‍්‍රියම දේශපාලනඥයා.


සාලෙ වාඩි වෙලා ආගිය කතා වලින් පස්සෙ ලයනල් සරත් මාමා ආව කාරණේට බැස්සා.


”විකී අපි පත්තරයක් පටන් ගන්න යනවා. අරමුණ මහින්ද මහත්තයගෙ දේශපාලන වයාපාරයට සහයෝගයක් දෙන එක. විකීට පුලූවන්ද මේකට මුදලක් දාන්න?”


තාත්තා හරි උත්තරයක් දුන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් මේ කාලය වන විට තාත්තට දේශපාලනය තිත්ත වෙලා තිබුණෙ. අනෙක් අතින් මේ නාලය වෙනකොට තාත්තගෙ ව්‍යාපාර සේරම නැවතිලා තිබුණෙ. මතුපිටින් ලොකු කමට පේන්න හිටියට මේ කාලෙ අපට තිබුණ එකම ආදායම තාත්තගෙ පඩිය විතරයි.


මහින්ද මහත්තයා අර සුපුරුදු ආකර්ශනීය සිනාවෙන් බලා හිටියා තාත්තගෙන් උත්තරයක් එනතෙක්.


”මං ටිකක් කල්පනා කරලා කියන්නම් සරත්” තාත්තා කිව්වා.


ලයනල් සරත් මාමා ඒ ගැන නැවත තාත්තගෙන් ඇහුවෙ නැහැ. මං හිතන්නෙ එහෙම පත්තරයක් පටන් ගැනුණෙත් නැහැ.


ඒත් අපේ තාත්තා තාමත් මහින්ද මහත්තයට ආදරෙයි.


”තමන්ට පත්තරයක් ගහගන්න තරම් වත්කම්ක් නොතිබුණ මහින්ද මහත්තය අද කෝටි ප‍්‍රකෝටිපතියෙක් වුණේ කොහොමද තාත්තෙ?” කියලා මං පහුගියදාක තාත්තගෙන් ඇහුවා.


”ඒ මිනිහ මගෙන් සල්ලි ඉල්ලූව එකක් නැහැ” තාත්තා කිව්වා.


”ඇයි නැත්තෙ? මාත් එතන හිටියනෙ තාත්තෙ” මං කිව්වා. තාත්ත නිශ්ෂබ්ද වුණා.


අපේ ප‍්‍රශ්න වලට උත්තර හොයනවට වඩා මහින්ද මහත්තයට ආදරේ කරමින් ඉන්න එක සහනයක් කියලා තාත්තා හිතනවා ඇති. බරපතල කොමියුනිස්ට්කාරයෙක් වෙලා හිටිය අපේ තාත්තාත් මහින්ද මහත්තයගෙ වරදක් දකින්න අකැමැති නම් මහින්ද මහත්තයට බඩ බැඳගෙන ආදරේ කරගෙන ඉන්න හැමෝම එහෙම වෙන එක පුදුමයක් නැහැ.

8 comments:

  1. මහින්ද නොවෙයි නේ ඉල්ලුවේ ලයනල් සරත් නේ?
    තාත්තා ටෙක්නිකලි නිවැරදියි.

    ReplyDelete
  2. මට හුරු පරිසරයක්. මගේ උපන් ගම දෙල්කඳ. අපේ තාත්තාත් 70 යුගයේ ස්ටැන්ලි තිලකරත්නලාත් එක්ක දේශපාලනය කරපු අය. 71 අත් අඩංගුවට පත්වෙච්ච අය. පසුව වාසුලා එක්ක බාල තම්පොලා එක්ක යුනියන්වලටම ජීවිතය දීපු අය. දැන් ඒ සියල්ලෙන් බැට කා ජීවිතයේ අවසානය එන තෙක් බලා සිටිනා අය.Aru

    ReplyDelete
    Replies
    1. අරූ තමයි පාර කිව්වෙ. ස්තුතියි.
      අරූගේ ලිපිවලට ටිකක් සමානයි

      Delete
  3. //”තමන්ට පත්තරයක් ගහගන්න තරම් වත්කම්ක් නොතිබුණ මහින්ද මහත්තය අද කෝටි ප‍්‍රකෝටිපතියෙක් වුණේ කොහොමද තාත්තෙ?” කියලා මං පහුගියදාක තාත්තගෙන් ඇහුවා.//

    මේ ප්‍රශ්නය මහින්ද මහත්තයාගෙන්ම ඇහුවනම් කොයි වගේ උත්තරයක් දෙයිද? එයාගේ කාලේවත් ඇහුවනම් සුදු වෑන් එකක් එවලා අරලිය ගහ මන්දිරයටම එක්ක ගිහින් හොඳ උත්තරයක් දේවි!

    ReplyDelete
  4. මට මතකයි මහිද රාජපක්ෂම විස්තර කරනවා පුවත්පතකට ඔවුන් ජිනීවා ගිහින් ඔහු බඩගින්නේ සිටි අයුරු ඉල්ලන්න අකමැති නිසා, ඔහු එතන කියල තිබුන වාසුදේව නම් කරදරයක් නැතිව ඉල්ලගත්ත බව.

    ඔහු අදහස් කලේ ඔහු අතේ වියදමටත් මුදල් නොතිබුන බව කියන්න

    ReplyDelete
  5. // අපේ ප‍්‍රශ්න වලට උත්තර හොයනවට වඩා මහින්ද මහත්තයට ආදරේ කරමින් ඉන්න එක සහනයක් කියලා තාත්තා හිතනවා ඇති //

    තාත්තා එල කොල්ලෙක් නේ!

    ReplyDelete
  6. පුරන්අප්පුApril 19, 2016 at 1:07 AM

    මහින්ද මහත්තයා කෝටි ගණන් තියෙන bawa දන්නේ කෙසේද

    ReplyDelete
  7. මහින්දට සල්ලි නැතුව ඇති, කොලබ නිල නිවසක් හොයා හොයා හිටිය නේද?

    ReplyDelete