මහගම සේකර, බුද්ධදාස ගලප්පත්ති, පේ‍්‍රමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම, පේ‍්‍රමසිරි කේමදාස, ධරමසේන පතිරාජ, තිස්ස අබේසේකර, ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස් (ඇතුලූ තවත් බොහෝ අය) අපේ ලෝකයේ වීරවරයෝ වූහ. ඔවුන් සිය නිර්මාණ ඔස්සේ අපේ සිත් වැඩි වශයෙන් සසළ කළේ මේ යුගයේ දී ය.
දුහුනන් වූ අපි ඔවුනගේ නිර්මාණ තුළින් ලද ආශ්වාදයෙන් මත් ව සිටියෙමු.
පේ‍්‍රමකීර්ති ද අල්විස් ප‍්‍රමුඛ ගුවන් විදුලි ශිල්පීහු ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ අපූරු වැඩසටහන් පෙළක් ඉදිරිපත් කරමින් සිටියහ.
සෙනසුරාදා උදය වරුවේ එක් එක් ගුවන් විදිලි ශිල්පියාට පැය බැගින් වෙන් කෙරුණ ශනිදා සාදය නම් වූ වැඩ සටහන ට අමතරව සෑම සතියේ දිනක ම සවස සොඳුරු සෙවණ නම් වූ වැඩ සටහනක් ද ගුවන් ගත විය. මේ යුගයේ කණිටුු සරසවිය ද ළමුන් අතර ජනප‍්‍රිය වූ වැඩ සටහනක් විය.
මගේ පළමු ගුවන් විදුලි වැඩ සටහන මා ලිව්වේ කණිටුු සරසවියට ය. එය අකුණු ගැසීම පිළිබඳ විද්‍යාත්මක පසුබිම විස්තර කෙරෙන නාට්‍යයක් ලෙසින් සකස් කළ කුඩා වැඩ සටහනකි. වැස්ස අකුණු ශබ්ද පසුබිමින් යොදා ගෙන අපූරුවට නිෂ්පාදනය කර තිබූ ඒ වැඩ සටහන ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වූ දා මා විඳි සතුට අදටත් මට දැනෙයි. කණිටු සරසවිය පසුපසින් සිටි යෝධයා ප‍්‍රවීණ මාධ්‍යවේදී අසෝක තිලකරත්න සූරින් බව අද මම දනිමි. ඔහු අද අපේ මෙල්බන් සෙනසුරාදා ගුවන්විදුලි වැඩසටහනට සතිපතා අපූරු අංගයක් පටිගත කර එවීම මට මහත් ආශ්වාදයක් ගෙද දෙන්නේ එනිසා ය
අඟහරුවාදා සොඳුරු සෙවණේ සෑහෙන කාලයක් වෙන්ව තිබුණේ ආධුනික නිර්මාණකරුවනගේ කවි නිර්මාණ ඉදිරිපත් කරන්නට ය. මේ වැඩ සටහන ඉදිරිපත් කළේ එවකට ද ඉහළ නමක් දිනාගත් තරුණ ගීත රචකයකු වූ සුනිල් සරත් පෙරේරා ය. නිර්මාණකරුවන් එවන නිර්මාණ ඉදිරිපත් කරනවාට අමතරව යම් යම් තෝරාගත් නිර්මාණ අගය කිරීමද ඔහු අතින් සිදුවිය. මේ අගැයීම් ඉවකින් මෙන් නිර්මාණකරණයට පිවිසෙමින් සිටි අපට මහත් රුකුලක් විය. එවකට සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි මම ද වැඩ සටහන අසා සිටීමෙන් නොනැවතී මගේ ශක්ති පමණින් කවි ලියා යැව්වෙමි.
කිසිදාක මගේ කවියක් ප‍්‍රචාරය නොවූ අතර කවි එවූ අයගේ නාමලේඛණයේ මගේ නම කියවෙනවා අසා සිටීමෙන් පමණක් සෑහීමට පත් වන්නට මට සිදුවිය.
මේ කාලයේ සුනිල් සරත් සේවය කරමින් සිටියේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප‍්‍රචාරක අංශයේ ය. තාත්තා සමගින් ය. කෙසේ හෝ මේ කවි ලියා එවන කොලූ ගැටයා තමා සමග එකට සේවය කරන එදිරිසිංහ මහත්තයාගේ පුතා බව දැන්ගන්නා සුනිල් සරත් පෙරේරා මහතා සිය නිවසට පැමිණ තමා හමුවන්නැයි මට තාත්තා අත පණිවිඩයක් එව්වේ ය.
මම අමන්දානන්දයට පත් වීමි. ඔහු ගීත රචනා ක්ෂෙත‍්‍රයේ පතාක යෝධයෙකි.
එවැන්නකුගෙන් ලැබෙන ඇරයුමක් ඉතා වටියි. කිරුළපන මායා මාවතේ පිහිටි ඔහුගේ නිවසේ දී සුනිල් සරත් අයියා හමුවූ දිනය අද මෙන් මතක ය.
ඔහුගේ නිවසේ ආලින්දයේ පුටුවකට බර දී පෙරේරා මැතිණිය වෙතින් ලද තේ කෝප්පයක් තොල ගාමින් මම කාව්‍ය නිර්මාණකරණය හා ගීත රචනය පිලිබඳ ජීවිතයේ ලද පළමු පාඩම සුනිල් සරත් පෙරේරා මහතා වෙතින් එදා ඉගෙන ගත්තෙමි. උපමා, රූපක වැනි සාහිත්‍ය උපක‍්‍රම මා පළමු වතාවට උගත්තේ ඔහු වෙතින් ය. මා ගෙන ගිය කවි කීපයේ අඩුපාඩු පෙන්වා දී ඒවා කපා කොටා සිය අත්අකුරෙන් ම නිවැරදි කළ හැටි තවමත් මතක ය.
මහ වෙල් යායයි
මහ වැව් යායයි
රන් මැළි මහ සෑයයි....
මහාවැලී මහ ගඟ උතුරා එන
නිවහල් දෑ ගීයයි.....
මා ලියූ කවියක පද කීපයක් ඔහු නැවත සකස් කළේ එසේ ය.
අපේ ඒ පළමු හමුවීමෙන් පසු මට ලංකාවේදී ඔහු නැවත හමු නොවී ය.
අදද දුහුනන් අතින් කව් ගී ලියැවෙයි. රත්න ශ‍්‍රී විජේසිංහ වැනි කළාතුරකින් හමුවන ප‍්‍රවීණයකු හැර ඒ ගැන ඇස් ඇර බලා කතා කරන ප‍්‍රවීණයන් අද හිඟ ය. වරද්ද වරද්දා නිර්මාණ කරන ආධුනික ලේඛකයකු කැඳවා ඔහුට උපදෙසක් දෙන්නට සිතන, ආධුනිකයා දිරිමත් කරවන වදනක් දොඩන, ප‍්‍රවීණයන් ගැන අද අසන්නට ලැබෙන්නේ කලාතුරකින් ය.
‘‘පෙරදිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා’’
යි ලියූ සුනිල් සරත් පෙරේරා නම් වන නිර්මාණකරුවා (එදා සිය නිවසේ ආලින්දයේ මා වාඩි කරවාගෙන කවිය පිළිබඳ පාඩමක් කියා දුන් සුනිල් සරත් අයියා) නැවත මට මුණ ගැසුණේ මෙල්බන් හි දී ය. ඒ අපේ පළමු හමුවීමෙන් අවම වශයෙන් වසර 30 කටවත් පසුව ය. එනමුදු ඔහු තවමත් එදා සිටි නිරහංකාර සුනිල් සරත් අයියා ම ය.
MOKADA MALLI BAILA PARAKKU? :)
ReplyDeleteලස්සඑන මතකයක්.
ReplyDelete