Saturday, August 10, 2019

ගල් වූ මිනිසකුගේ කතාව - ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ කැන්ගරු වන්නම


අවුරුදු විස්සක් ඔස්ටේ‍්‍රලියාවට සිංහල පත්තර ගෙනෙන්නට වැය කළ ජීවිතයේ ආශ්වාදණිය මතක අපමණ ය. කිසිවකුට තේරුම් ගත නොහැකි තරම් කටුක ඒ මාර්ගය දෙස නැවත හැරී බැලීමේදී මගේ මතකයට එන දේ අතරින් එකක් වන්නේ මේ ගමනේදී මට හමුවූ සුන්දර මිනිසුන් පිලිබඳ මතකය යි. සෙරෙන්ඩිබ් නිව්සු පුවත්පතේ සිංහල පිටු වලින් ඇරඹී පහන සහ සන්නස හරහා ආ මේ ගමනේදී අමතක නොවන පිරිසක් වන්නේ මේ පත්තර පිටු ඔස්සේ ඉදිරියට ආ ලේඛක ලේඛිකාවන් පිරිසයි. ඒ අතරින් ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා කැපී පෙනෙයි. ඒ තරමටම මම ඔහුගේ ගමන් මග නිරීක්ෂණය කරමින් සිටියෙමි. 

මෙයට පෙර කීපවතාවක්ම ලියා ඇති පරිදි කෙටිකතාකරුවකු කවියකු විශේෂාංග ලේඛකයකු ලෙස ඔහු ආ ගමන මුළ සිටම මම බලා සිටියෙමි. ඒ ගමනේ කූඨප‍්‍රාප්තිය ඔහුගේ ”කැන්ගරු වන්නම” නවකතාව යයි මම සිතමි.

කැන්ගරු වන්නම නවකතාව සඳහා ලක්ෂ්මන් තෝරාගන්නේ මේ සමාජයේ අප අත් දකින අපූරු අනුභූතියකි. විවිධාකාර ක‍්‍රම ඔස්සේ මෙවන් රටවලට පැන සැඟවී සිට මොනයම් ක‍්‍රමයකින් හෝ සිය පැවැත්ම තහවුරුකරගන්නා අය අප අනන්තවත් දැක ඇත. තමන් මෙවන් අයකු පිළිබඳ නවකතාවක් ලියන බව කලකට පෙර ලක්ෂ්මන් මට කියූ අවස්ථාවේ මගේ සිතට එකවර ඇතුල්වූයේ ඒ කතා රැසයි. මේ කතා තුළින් අවශ්‍ය කොටස් තෝරා බේරා ගනිමින් සිය නවකතාව නිර්මාණය කරන්නට ලක්ෂ්මන් දක්වා තිබූ කුසලතාව අපූරු එකකි. ජීවත්ව සිටින්නන් අපහසුවට පත් නොකර සිය නිර්මාණය ගොඩ නගන්නට ඔහුට හැකිවී ඇති බව දැකීම සතුටකි.

ජිනේන්ද්‍ර, ස්වර්ණතිලක නැටුම් ගුරුතුමාගේ නර්තන කණ්ඩායම සමග  ඕසටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සංචාරයකට එක්වන්නේ  ඕස්්ටේ‍්‍රලියාවට පැනගැනීමේ ඒකායන අරමුණෙන් ය. තමහන්ගේ සියලූම ප‍්‍රශ්න වලට විසඳුම ඇත්තේ ඒ තීරණය මත යයි විශ්වාස කරන ඔහු සිය ගැබ්බර බිරිඳ වන සුගන්ධිකා පවා ලංකාවේ තනිකර දමා  ඕස්ටේ‍්‍රලියාවට පැනගනියි. ඔහුගේ මේ උත්සාහය සාර්ථකවනු ඇතිද? ඔහුට මෙරටේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය වීසා ලබා ගත හැකි වේවිද? ලක්ෂ්මන් සිය කතාව ගොඩ නගන්නේ මේ සියලූ ප‍්‍රශ්න එකින් එක අප හමුවේ දිගහරිමින් ය. ඒ අතරේ මිනිස් සිත් තුළ උපදින විවිධාකාර මනෝභාව හමුවේ මේ චරිත හැසිරෙන ආකාරය අප හමුවේ තබන්නට ඔහු සමහත් වෙයි.

ලක්ෂ්මන්ගේ කැන්ගරු වන්නම නවකතාවේ අපට හමුවන චරිත සුදු සහ කලූ ලෙස වෙන් කළ නොහැකි ය. ඒ චරිත මේ මිනිස් ලෝකයේ අප අත් දකින් හොඳ නරක දෙකම පොදි බැඳගත් ගැහැනුන් සහ මිනිසුන් ය. ඔවුන් නවකතාවේ හැසිරෙන්නේද ඒ කලූත් සුදුත් එකලෙස ප‍්‍රදර්ශනය කරමින් ය.

කෙටිකතාකරුවකු ලෙස ලක්ෂ්මන් ගොඩනගාගත් මනා බස මේ නවකතාව තුළද අපට දකින්නට ලැබෙයි. ඒ බස ප‍්‍රාණවත් ය. සුගම ය. නිරවුල් ය.

තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ගැහැනුන් සහ මිනිසුන් සිය ජීවිත පරදුවට තබන අවාසනාවන්ත පරිසරයක් පිලිබඳ මේ කතාව අවසානයේ මේ ගමනින් ජිනේන්ද්‍ර සැබෑ ජයග‍්‍රහණයක් ලබාගත්තාද? කතාව අවසානයේ කතුවරයා අප හමුවේ ඉතිරිකර යන ප‍්‍රශ්නය එයයි. ඒ ප‍්‍රශ්නයට පිලිතුර එක් එක් පාඨකයා තම තමන් විශ්වාස කරන පුරුෂාර්ථ අනුව තීරණය කරගනු ඇත.

1 comment:

  1. Most people are trying to come out from bad situations, however people who are trying to immigrate illegally are selling our country saying how unlivable Sri Lanka is. This create more problems for genuine migrants, students and visitors.

    ReplyDelete