Saturday, May 30, 2020

ඉස්කෝලෙ කාලෙ යොවුන් නවකතාව සහ ඞීබී

මගේ ඉස්කෝලෙ කාලෙ යොවුන් නවකතාව ගැන ප‍්‍රවීණ ලේඛක ඞීබී කුරුප්පු මහතාගේ හිතේ තිබ්බෙ ලොකු ආසාවක්. එය කියවූ දා සිටම ඔහු නොයෙක් වර ඒ ගැන මා සමග කතා කළා. වෙනෙකක් තියා ඔහු මේ පොත යම් සම්මානයක් දිනා ගනියි කියලත් විශ්වාස කළා. එහෙම නොවුණම ඔහු පුදුමයෙන් මා සමග ඒ ගැන කතා කළා.

”මේකෙ දෙවැනි කොටසක් ලියන්න  ඕනෙ” ඔහු කීප වතාවක් කිව්වා. මගෙත් එවැනි අදහසක් තිබ්බා. මොකද මේ පොත මං හුඟක් ආසාවෙන් ලිව්ව පොතක් නිසා. මේ පොතේ ලිව්ව බොහෝ දේ මගේ හැබෑ ජීවිතේ අත්දැකීම්. ඒ නිසාම මං ලිව්වා වුණත් අදත් මේ පොත කියවන විට මගේ ඇස් වලට කඳුළක් එනවාමයි.

පොතේ චිත‍්‍ර ඇන්දෙ ටිඩී අබේසූරිය මහතා. මං ඔහු හොයාගෙන ගිහින් මේ කටයුත්ත කරගත්ත හැටි අවුරුදු දහයකට විතර පස්සේ මට මතක් වෙනවා. ඒ චිත‍්‍ර හරිම අපූරුයි. මගේ කතාවටම ගැළපෙන මට අවශ්‍යම වූ ආකාරයේ චිත‍්‍ර.


”මේ පොත ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්න” කුරුප්පු මහත්තයා වතාවක් මට කිව්වා. මං ඒ ගැන හුඟක් මහන්සි වුණා. ඉංග‍්‍රීසි සහ දෙමළ භාෂා වලට පරිවර්තනය කරන්න අය සෙව්වා. දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න බාරගත් කෙනා පොත ගෙන්වාගත්තා. එයින් පස්සෙ එයා නිෂ්ශබ්ද වුණා. ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්න කෙනෙක් හොයාගන්න බැරිවුණා.


දවසක් කුරුප්පු මහත්තයා මේ ගැන මගෙන ඇහුවා. මං විස්තරේ කිව්වා. ඔහු අහගෙන හිටියා මිසක් යමක් කිව්වෙ නැහැ. සතියකට දෙකකට විතර පස්සෙ ඔහු නැවත කතා කළා.

”යෝජනාව මගේනෙ. මං ම පරිවර්තනය කරලා දෙන්නම්” ඔහු කිව්වා. කිව්වා විතරක් නෙවෙයි. මාස කීපයක් ඇතුළත ඔහු පරිවර්තනය නිම කළා. මට ලොකු සතුටක් දැනුණා.

”මගේ ඉංග‍්‍රීසි පරණයි කියල මට හිතෙනවා. මේක දුවෙකුට කියවලා ඒ අයට ගැළපෙන විදිහට එඩිට්කරවාගන්න” ඔහු කිව්වා.

”මං දුවෙකුට කියලා ටයිප් කරගන්නම්” මං කිව්වා. ඒත් ඒක කරගන්න බැරි වුණා. මොකද කිසිම කෙනෙකුට කුරුප්පු මහත්තයගෙ අත්අකුරු කියවගන්න බැහැ. ටිකක් හරි කියවගන්න පුලූවන් මට විතරයි කියලයි මට හිතෙන්නෙ. ඉතින් වැඬේ ටිකෙන් ටික කල් ගියා.
ඩීබීගේ අත්අකුරු

ඔහු මියයන්න පෙර පැවැත්වූ අවසාන පොත් එළිදැක්වීමෙදි කළ කතාවෙදි ඔහු මේ ගැන කිව්වා.

”මහලොකුවට කිව්ව දුවට කියලා ටයිප් කරගන්නම් කියලා. තාම වැඬේ කෙරුණෙ නැහැ.” ඔහු නෝක්කඩු කිව්වා. ”මං නොමිලෙම වැඬේ කළ නිසා අගයක් නැහැ නේද?” ඔහු ඇහුවා. මං පත්වෙලා හිටපු තත්වය ගැන පැහැදිළි කිරීමක් මගේ කතාවෙදි කරන්න එදා මට සිදුවුණා.

මේ පොත ඉක්මණින් ඉවරකරගන්න එක මගේ හිතේ ලොකු බරක් වගේ තිබුණා. මා නිසා නෙවෙයි. කුරුප්පු අංකල් නිසා මේ පොත ඉන්මණින් අවසන් කරගන්න මට අවශ්‍යව තිබුණා. ඔහුගෙ ශරීර සෞඛ්‍යය වේගයෙන් පිරිහෙමින් තියෙද්දි මං හරිම අසරණ වුණා. අවසානයෙදි ඔහු අප හැර යනවිටත් ඔහුගෙ පරිවර්තනය මගේ මේසය මතම තිබුණා.

පසුගිය මාස තුනක පමණ කාලය මම වැය කළේ ඒ කඩදාසි ගොන්න ටයිප් අකුරු බවට පෙරළන්න. ඒක අමාරු වැඩක්. බොහොම අමාරුවෙන් කියවමින් පිටුවෙන් පිටුව මමම ටයිප් කළා. සමහර දවසක පිටුවකට බාගෙකට වඩා ටයිප් කරගන්න බැරි වුණා. දැන් ඒ වැඬේ අවසානය කරා එළැඹෙමින් තිබෙනවා. දැන් මගේ අරමුණ හැකි ඉන්මණින් ඉස්කෝලෙ කාලෙ ඉංග‍්‍රීසි පරිවර්තනය මුද්‍රණයෙන් එළි දැක්වීම. ඞීබී අංකල් වෙනුවෙන්.

ඞීබී කුරුප්පු මහතා පරිවර්තනය කළ ඉස්කෝලෙ කාලෙ ඉංග‍්‍රීසි පොතත් ඉස්කෝලෙ කාලෙ සංශෝධිත අලූත් මුද්‍රණයත් දෙකම එකවර එළිදක්වන්න මං උත්සාහ කරනවා. මේ කොරෝනා කාලෙ හමාරවෙද්දි ඒ වැඬේ ඉවරකරගන්න පුලූවන් වෙයි කියලා මං හිතනවා.

3 comments:

  1. එළ!

    අම්මෝ පරිවර්තනය කියන්නේ මහාම අමාරු වැඩක්. තමන්ගේ පොතක් නම් තමන්ට හැකි වේවි.

    ReplyDelete
  2. අගලවත්තේ පී ජයසිංහට කියා මා පිටු 250 ක පොතක් පරිවර්තනය කර ටයිප් කරවාගෙන ගෙන්වා ගත්තා. රුපියල් 20,000 යි ගාන.

    ReplyDelete
  3. ඉස්කෝලේ කාලේ කාගේත් අතීතය බවය් මගේ හැඟීම. මේ අලුත්ම ආරයේ පොත කියවීමට පුල පුලා සිටිනවා.

    ReplyDelete