Thursday, November 5, 2020

අපේ කතාවක්....










මෙය ඓතිහාසික ඡුායාරූපයකි. තාත්තා ගේ කුලියාපිටියේ මහගෙදර ඇති මේ සේයාරුව මා අවසන් වරට දැක්කේ අවුරුදු අටක දහයක කුඩා දරුවකුව සිටියදී ය. මතක පොත අවුස්සමින් සිටි මම කුලියාපිටියේ ජීවත්වන මගේ පති මල්ලිට කරදර කර ඒ සේයාරුව සොයා ගතිමි. මගේ කලබලය නිසා මල්ලි මට එවූවේ මුල් සේයාරුවේ සේයාරුවකි. එහි ස්කෑන් පිටපතක් ඔහු එවූ විට මේ සේයාරුව යාවාත්කාලීන කරන්නට බලා සිටිමි. 


මෙය පළමු වතාවට කුලියාපිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක් පිහිටවූ දා එහි ආරම්භක සාමාජිකයන් පක්ෂයේ නායක එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක බණ්ඩාරනායක මහතා සමග ගත් සේයාරුව යයි යම්කිසිවකු මට කියාදුන්නේ එදා ය. සේයාරුවේ මැද එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහතා සිටින අතර දකුණු කෙළවරේ ජාතික ඇඳුමින් සිටින්නේ මගේ සීයා ෆ‍්‍රැන්සිස් පී ජේ එදිරිසිංහ යි. (අපේ නම් වල මැද ඇති "ජේ" අකුර අපේ පරම්පරාවෙන් එන එකක් මිස ලස්සනට දමාගත් එකක් නොවේ)


කුලියාපිටිය ඔරලෝසු කණුවේ සමරු ඵලකය
(සේයාරුව එවූ සමිත ජේ එදිරිසිංහ පුතාට ස්තුතියි)

සීයා වයස අවුරුදු 62 දී හෘදයාබාධයකින් මිය යන විට කුලියාපිටියේ උප නගරාධිපතිව සිටියේ ය. කුලියාපිටිය නගරය මැද ඇති ඔරලෝසු කණුවේ තවමත් ඔහුගේ නම සඳහන්ව ඇතැයි මම අසා ඇත්තෙමි.


සීයා ගේ ගම නුගේගොඩ වුවත් ඔහු ගම අතහැර කුලියාපිටියට යන්නේ හිතුවක්කාර විවාහයක් කරගත් නිසා ය. ඒ විවාහය වෙනුවෙන් ඔහු සිය පියාට අයත්ව නුගේගොඩ නගරය මැද පිහිටි විශාල ඉඩකඩම් යායක් අතහැර දැමුවේ ”මට උඹලගේ ඉඩකඩම්  ඕනෙ නැහැ”  කියා ය. (පේ‍්‍රමටය වඩා වැදගත් දෙයක් අපේ පරම්පරාවේ කිසිවෙකුට නොතිබුණ බව කල්පනාවෙන් බලන විට අදත් මට සිතෙයි. අපේ මහගෙදර ඇති නුගේගොඩ නගරය මැද පිහිටි ඉඩම තාත්තා ගේ නැන්දා කෙනෙකෙු ගේ අයිතියෙන් අපේ තාත්තාට ලැබුණ එකකි. සීයා ගේ පේ‍්‍රම කතාව මම වෙනත් ලිපියක ලියා ඇති බැවින් නැවත නොලියමි)


බණ්ඩාරනායක මහතා සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ අපේ සීයා ඒ පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කුලියාපිටියේ නගර සභාවට තරග කර එහි උප නගරාධිපති වීමෙන්  පමණක් සෑහීමට පත්ව සිටියේ ය.


”ඇයි සීයා පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළේ නැත්තෙ?” මම මෑතදී තාත්තාගෙන් ඇසුවෙමි.


”ඒ කාලෙ දැන් කාලෙ වගේ එහෙම පොරයක් තිබ්බෙ නෑ.. පප්පට එහෙම අවශ්‍යතාවක් වත් තිබ්බෙ නැහැ.. එයා සද්ද නැතුව එයාගෙ වැඩ ටික කරගෙන ගියා” තාත්තා කීවේ එහෙම ය.


එහෙව් මිනිසුන් හැදූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිසේන නම් වන ග‍්‍රාමසේවකයකු විසින් විනාශ කරන ලද ආකාරය  ගැන කණගාටුවක්ද වරෙක සිතේ ඇති වෙයි.


සිය පප්පා බරපතළ ශ‍්‍රීලංනිපාක්ෂිකයකු වන විට අපේ තාත්තා නැවතුනේ කොමියුනිස්ට් පක්ෂයේ ය. සිය තරුණ කාලයේ උද්යෝගිමත් කොමියුනිස්ට් පාක්ෂිකයකු වූ තාත්තා තමන් සාර්ථකව කරමින් සිටි බීඩි ව්‍යාපාරය ජනසතු කිරීමට අදාල වාර්තාව තමන්ගේ ම අතින් ලියා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ වික‍්‍රමසිංහට දුන්නේ ය. බීඩි ව්‍යාපාරය ජනසතුවීමත් සමගම තාත්තා ගේ ව්‍යාපාරයද නවතා දැමුණි. 

---------------------------------------

වැඩි විස්තර සඳහා මේ ලිපිත් කියවන්න...

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද? 2

----------------------------------------


වයසින් මුහුකුරායත්ම තාත්තා ඒ දේශපාලනයෙන් ඈත්වූයේ ය.


”දැඩි මර්දනයකින් තොරව කොමියුනිස්ට් පාලනයක් පවත්වාගෙන යන්න බැහැ” තාත්තා පසුකාලීනව කීවේ ය. ජීවිත කාලය ම කොමියුනිස්ට්වාදයට ආශක්තව සිටි මම ද දැන් වයසින් මුහුකුරා යමින් සිටිමි. මට ද දැන් සිතෙන්නේ තාත්තා ගේ අදහස නිවැරදි ය යන්න ය. විවිධාකාර අදහස් ඇති සංකීර්ණ මිනිස් සමාජයක් එක් රාමුවකට කොටු කර තබන්නට හැකි දේශපාලන ක‍්‍රමයක් තිබිය නොහැකි ය. අප මහන්සි විය යුත්තේ සාධාරණ සමාජයක් බිහිකර ගන්නට ය.


එනිසා අදත් මම නිර්පාක්ෂිකයකුව සැහැල්ලූවෙන් දිවි ගෙවන්නෙමි. කිසිදාක කිසිවකුගේ හෝ කිසිම පක්ෂයක හෝ කිසිම දේශපාලන මතවාදයක හෝ ගැත්තකු නොවූවා සේ ම ඉදිරියටත් නොවන්නෙමි. එය, ආත්මාර්ථයෙන් තොරව දේශපාලනය කළ මගේ සීයාටත් තාත්තාටත් කරන ගෞරවයකැයි මම සිතමි. 


3 comments:

  1. මෙවැනි අතීත සිහිවටන සහ තොරතුරු වලින් නුතන පරම්පරාවට බොහෝ ගුරුහරුකම් ලබාගත හැකියි. එසේ වුවත් බොහෝ වැදගත් දේ පරණ හණමිටි සේ බැහැර කිරීමට අද තරුණ පිරිස් පෙළඹීම අභාග්‍යයක් නොවේද?

    ReplyDelete
  2. සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ?

    http://rasikalogy.blogspot.com/2016/04/jagath-j-edirisinghe-enteres-sinhala.html

    ReplyDelete