මේ සටහන ලියන 2016 ජූනි 4 වන දා අපේ ”ශනිදා සාදය” ගුවන් විදුලි වැඩ සටහනේ දී උදය මගෙන් ප‍්‍රශ්නයක් ඇසුවේ ය.
”ඔබ පාසල් වියේ දී චිත‍්‍රපට තිරනාටකයක් ලිව්වා නේද? ඒ ගැන කතා කරමුද?” ඔහු ඇසුවේය.
”ඒක දිග කතාවක්.. අපි වෙනත් වෙලාවක ඒ ගැන කතා කරමු” මම කීවෙමි.
විනාඩි දෙක තුනකින් කියා නිම කළ නොහැකි ඒ කතාවයි මේ.
සිනමාවට අප මේ තරම් ඇලූම් කරන්නට පටන් ගත්තේ ඇයිදැයි කල්පනා කරන විට මගේ මතකයට පළමුව එන්නේ මගේ මාමා ය - ස්ටීවන් ගුණතිලක යි. අම්මාගේ එකම සොහොයුරා වූ මාමා ජී එස් ප‍්‍රනාන්දු සිත්තරා ගේ ගෝලයෙක් යයි මම අසා ඇත්තෙමි. ඔහු සුසිල් පේ‍්‍රමරත්න ශූරීන් සමගින් ජී එස් ප‍්‍රනාන්දු මාස්ටර් වෙතින් චිත‍්‍රශිල්පය උගත් බව ඒ මතකය කියයි.
කෙසේ වුවද මාමා වඩා ප‍්‍රසිද්ධ වූයේ සිනමා කලා අධ්‍යක්ෂවරයකු ලෙස ය. ඇල් ඇම් පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර මහ නිධානය, හතර කේන්දරේ, හතර පෙරළිය වැනි සියලූම චිත‍්‍රපට වලත් කේ ඒ ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ බහුතරයක් චිත‍්‍රපට වලත් කලා අධ්‍යක්ෂකවරයා වූයේ ඔහු ය. මේ චිත‍්‍රපට සඳහා ඔහු නිපදවූ දැවැන්ත පසුතල මට තවමත් මතකය. ඩිජිටල් මුද්‍රණ නොතිබුණ ඒ කාලයේ විවිධ චිත‍්‍රපට වල දැවැන්ත කටවුට් ඔහු අතින් ඇඳෙනු මම බලා සිට ඇත්තෙමි. ඉතා කුඩා කලූ සුදු සේයාරුවක් දෙතුන් සිය ගුණයක් විශාල කර වර්ණයෙන් නිමවන මේ දැවැන්ත කටවුට් මගේ කුඩා සිතේ ඇති කළේ මහත් විස්මයකි.
මාමා සිනමාවට සම්බන්ධ බැවින් ඒ කාලයේ ඔහුගේ නිවසට ආ ගිය නලූ නිළියෝ රැසක් වූහ. මාමාගේ නිවස වූයේ අපේ අල්ලපු වැටේ බැවින් මේ සිනමා තාරකා දැක ගන්නට අපටද හැකි විය. ඒ කාලය අපූරුය.

ඉතින් අපටද චිත‍්‍රපටයක් තනන්නට අවශ්‍ය විය. නිකම්ම චිත‍්‍රපටයක් නොව ”සංදේශය” වැනි ඉතිහාස කතාවක් හදන්නට අපට අවශ්‍ය විය. එපමණක්ද? අපේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට ගාමිණී ෆොන්සේකා නම් මහා රංග ශිල්පියා යොදා ගන්නටද අපට අවශ්‍ය විය. චණ්ඩි ශ්‍යාමා චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟ පෑ ගාමිණී ෆොන්සේකා සමග යම් තරමක හිතවත් කමක් උදයට වී යයි මගේ මතකය කියයි.
සියල්ලට පළමුව ගාමිණි ෆොන්සේකාට ගැලපෙන ඓතිහාසික චරිතයක් සොයා ගත යුතු විය. ජයසේන ජයකොඩි ශූරින්ගේ ”පරසතුරෝ” නවකතාවෙන් අප හඳුනා ගත් බූටෑවේ රටේ රාළ ගේ චරිතය ඇසුරින් තිර නාටකය ලියන්නට අපි තීරණය කළෙමු. සුදු පාලනයට එරෙහිව සටන් වැදුණ බූටෑවේ රටේ රාළ ගේ චරිතයට ගාමිණී තරම් ගැළපෙන වෙනත් රංග ශිල්පියකු සිතා ගන්නටවත් අපට නොහැකි විය. මේ සඳහා ගාමිණී කැමති කරවා ගැනීම පිළිබඳ උදයට නම් කිසිදු සැකයක් නොවී ය.
ඉතින් දැන් මගේ වාරයයි. මේ තිරනාටකය ලිවීම මගේ වගකීමයි. මම පළමුව ජයසේන ජයකොඩි මහතාට ලිපියක් යවමින් ”පරසතුරෝ” පොත ඇසුරින් තිරනාටකය ලියන්නට අවසර ඉල්ලා සිටියෙමි. ඒ වන විටත් ඒ පොත සිනමාවට නැගීමට කතා බහක් ඇති බැවින් අවසර ලබා දිය නොහැකි බවට හැරෙන තැපෑලෙන් මට පිළිතුරු ලැබුණි. එනිසා ”පරසතුරෝ” මත නොඉඳ බූටෑවේ රටේ රාළ ගේ චරිතය ඇසුරු කර ගනිමින් තිරනාටකය ලියන්නට අපි තීරණය කළෙමු.
සිනමා තිර නාටකයක් යනු නාට්‍යයක පෙළ ලියනවාට වඩා වෙනස් දෙයක් යයි මා අසා තිබුණි. කොළය දෙකට බෙදා එක් පසෙක රූප විස්තරයත් අනෙක් පසෙහි හඬ විස්තරයත් ලිවිය යුතු බව මා අසා තිබූ නමුත් දෑසින් දකින තෙක් එවැන්නක් ලියන්නේ කෙසේදැයි තේරුම් ගත නොහැකි බවක් මට දැනුණි.
මා සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ පන්ති ආරම්භ වන තෙක් වූ සංක‍්‍රාන්ති සමයේ දී චිත‍්‍රපට සංස්ථාව විසින් මෙහෙයවූ සිනමා තිරනාටක පාඨමාලාවට ඇතුල්වන්නට අයැදුම් පතක් සකස් කරගෙන ඒ සඳහා අවශ්‍ය චරිත සහතිකයක් ලබා ගන්නට එවකට අපේ පන්තිය බාරව සිටි ගුරුවරිය හමුවීමි. පාසල අවසන්ව පාසලේ බැට්මින්ටන් පිටියේ ක‍්‍රීඩා කරමින් සිටි කලූබෝවිල නම් ඒ උද්ධච්ඡු ගුරුවරියට මගේ ඉල්ලීම මහා කරදරයක් සේ දැනෙන්නට ඇත. ඈ මට චරිත සහතිකයක් ලියා දීම ප‍්‍රතික්ෂෙප කළාය. තිරනාටක පාඨමාලාවට ඉල්ලූම් කිරීමේ අදහස අතහැර දමන්නට මට සිදුව තිබුණි.
සිනමා තිරනාටකයක් ලියන්නේ කෙසේද? එය සොයා ගත යුතුය. දැන් මෙන් අන්තර්ජාලය නොතිබුණ ඒ යුගයේ නව දැනුම සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. උදයත් මාත් පත්ව සිටියේ බරපතල ප‍්‍රශ්නයකටය.
”අපි චිත‍්‍රපටි සංස්ථාවට ගිහින් අහමු” ඒ අපේ අවසාන විසඳුමයි.
එතැන් සිට කතාව තවත් දින දෙකක් ගතවූ තැන ඔබට කියන්නට අවසර ඉල්ලමින් අදට නවතින්නේ හෙට සිදුවන අපේ පොත් එළි දැක්වීමේ උළෙල ගැන හිත යොදන්නට තිබෙන නිසා ය.
බූටෑව කියන්නේ කැලේට නේද? එතකොට, බූටෑවේ රාළ කියන්නේ පොර කැලෑ සටන් කළ අයෙකු නිසා ද?
ReplyDeleteතිරනාටක ලියාගෙන චිත්‍රපට හදන්න අවස්ථාව නැතිව ඉන්න චිත්‍රපට පිස්සෙක් විදිහට ඊළඟ කොටස කියවන්න කුතුහලයෙන් බලා ඉන්නවා.
ReplyDeleteඑකම බෝට්ටුවෙ
Deletemaru
ReplyDelete