කුප‍්‍රකට ජේ ආර් රජීව් ගාන්ධි ගිවිසුමෙන් පසු අද රටට ගැළවී ගත නොහැකි හෙණයක් වී ඇති පළාත් සභා නම් ආයතන බිහිවිය. එකම ඒකකයක්ව තිබූ මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ පළාත් වල තිබූ කාර්යාල පළාත් සභා වලට පැවරෙමින් තිබුණි. මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික අංශයට අයත්ව තිබූ ප‍්‍රාදේශීය කම්හල් සියල්ලම ඒ ඒ පළාත් සභා වලට පැවරීමේ කටයුතු ඇරඹුනි.
පල්ලෙකැලේ කුරුණෑගල කුරුවිට බණ්ඩාරවෙල ආදී ප‍්‍රදේශවල තිබුණ කම්හල් සේවකයන් සහ නිලධාරීන් සමගම පළාත් සභා වලට පැවරුණි. බස්නාහිර පළාතට අයත්ව තිබූූ කොළඹ තත්වය මදක් වෙනස් විය.
”එදිරි ඉක්මණින් හෙඞ්ඔෆිස් එකට ඇවිත් මාව හමුවෙන්න” පණිවුඩය ආවේ යාන්ත‍්‍රික අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි වරලත් ඉංජිනේරු ෂෙල්ටන් රණසිංහ මහතාගෙනි.
මම උදයෙන්ම සෙත්සිරිපායේ ප‍්‍රධාන කාර්යාලයට ගියෙමි. රණසිංහ මහතා සමග ඉංජිනේරු ජයතිලක මහතාද විය.
”වෙස්ටර්න් රීජනල් වර්ක්ෂොප් එක බස්නාහිර පළාත් සභාවට දෙනවා” රණසිංහ මහතා කෙළින්ම කතාව පටන් ගත්තේ ය. ”අපේ ඔක්කොම් මැෂින් ඒකට දෙන්න වෙනවා.. ආර්එම්ඊ (RME - Regional Mechanical Engineer) ඇතුළුව ඔක්කොම වැඩ කරන අයත් එක්කම.. ඒත් අපට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා.. මාර්ග සති ෆ්ලීට් එක අපට ඉතුරු වෙනවා.. අපි ඒක මේන්ටේන් කරන්න ඕනෙ.. අපි එදිරිව ආර්ඞීඒ (RDA - Road Development Authority) එකට තියා ගන්නවා... රෝඞ්වීක් ෆ්ලීට් එක මේන්ටේන්කරන වැඬේ අපි ඔයාට බාර දෙනවා..” ඔහු කීවේ ය. මම අසා සිටියෙමි.
”ආර්එම්ඊ ගාව දැන් තියෙන 31ශ‍්‍රී 5380 ජීප් එක අපි ඔයාට දෙනවා. ඒකෙ ඩ‍්‍රයිවරුත් එක්ක. දැනට තියෙන වර්ක්ෂොප් එකේ දැන් ඉන්න මිකැනික්ලගෙන් ඔයා කැමතිම හතර දෙනා තෝරාගෙන මට නම් ටික කියන්න.. හෙට ඉඳන් සර්විස් යුනිට් එකක් දාන්න සුදුසු තැනක් හොයන්න”
යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා මා පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටින බව මම දනිමි. මම අභියෝග වලට කැමැත්තෙමි. මේ නම් කිසිවකුට නොලැබෙන අවස්ථාවකි. අනෙක් අතින් පළාත් සභාවට නොගොස් මාර්ග සංවර්ධන අධිකාරියේ දිගටම සේවය කරන්නට අවස්ථාව ලැබීම භාග්‍යයකි.
(මේ සිදුවීම් වලින් වසර කීපයකට පසු වරලත් ඉංජිනේරුවරයකු ලෙස සුදුසුකම් ලබන්නට මා ඉදිරිපත් කළ ප්‍රොෆෙෂනල් රිවිව් වාර්තාවට අත්සන් කළ එක් වරලත් ඉංජිනේරුවරයකු වූයේ ෂෙල්ටන් රණසිංහ මහතා ය. මට පෙර ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ ඒ මහතා ඉන්පසුව ඇමරිකාවට ගිය බව දැනගතිමි. මේ අතිදක්ෂ හොඳ නිලධාරියා පිලිබඳ කිසිදු තොරතුරක් මට ඉන්පසු සොයාගත නොහැකි විය. මගේ වාර්තාවට අත්සන් කළ අනෙක් වරලත් ඉංජිනේරුවරයා දැන් කැනඩාවේ වාසය කරන ධනකාන්ත පීරිස් සොයුරා බවද සටහන් කර තබමි)
මම පසුදා සිටම වැඩට බැස්සෙමි. මගේ රියැදුරා පියසේන ය. ඔහු මට අනුයුක්ත කළ දින සිට මා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන තෙක්ම මගේ රියැදුරාව සිටියේ ය. හක්මණ පදිංචිකාරයකු වූ පියසේන නැවතී සිටයේ බත්තරමුල්ලේය. රාත‍්‍රියේ 12ට එන්නට කීවත් ඔහු එයි.
පැරණි කම්හලෙන් මා තෝරාගත් කාර්මිකයන් කීපදෙනාත් සමගින් ඒ සතියම බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සියලූම ඉඩම් වලට ගියේ අපේ නව සේවා ඒකකයට සුදුසු තැනක් සොයාගන්නටය. කඩුවෙල සහ නුගේගොඩ දෙතැනේ වඩා ඉඩ කඩ ඇති ඉඩම් දෙකක් තිබුණත් අපේ අවධානය වැඩියෙන්ම යොමු වුණේ මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට යාබදව පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ලොරි නැවැත්වීමට යොදා ගත් කුඩා ඉඩමයි. නුගේගොඩ ඉඩම තිබුණේ අපේ මහගෙදර සිට පයින් ඇවිද යන දුරකිනි. එනමුදු මරදාන ඉඩම කම්හලට වඩාත් සුදුසු තැන ලෙස මම තේරුම් ගත්තෙමි. එල්පින්ස්ටන් රඟහල ඉදිරියෙන් පහළට යනවිට තිබෙන මේ ඉඩමේ ගොඩනැගිල්ලක්ද වීම අපේ කටයුත්ත වඩාත් පහසු කරනු ඇතැයි මම සිතුවෙමි. යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා කැඳවාගෙන විත් තැන පෙන්වූ විට ඔහුද එයට එකවරම කැමති විය.
ඊළඟ සතියේම කාර්යාල කාමරයක් ගබඩා කාමරයක් සේවක කාමරයක් මුර කාමරයක් ගොඩ නැගුණි. සේවක කාමරයේ වහලයට කොන්ක‍්‍රීට් එකක් දම්මවා ගත්තේ අනාගතය ගැන සිතා ය. මේ ඉඩම කුඩාය. ගොඩනැගිලි තනන්නට ඇත්තේ කුඩා ඉඩකඩකි. මේ සීමිත ඉඩෙන් උපරිම ප‍්‍රයෝජනය ගතයුතු ය. යම් දිනෙක මම මේ කොන්ක‍්‍රීට් තට්ටුව උඩ තවත් කාමරයක් තනන්නෙමි. එය කරන්නේ කෙසේ දැයි අද මට නොවැටහේ. එනමුදු දිනෙක මම එය කරන්නෙමි.
ගබඩාබාරකරුවකු ලිපිකාරිනියක සහ මුරකරුවන් දෙදෙනෙකු ද අනුයුක්ත කෙරුණි. කාර්මිකයන් හතර දෙනෙකි. රියැදුරන් තුන්දෙනෙකි. මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ෆෝමන්වරයකු ලෙස සේවය කළ සෝමසිරි මහත්තයාද අපට එක් වී සිටියි. මාර්ග සති යන්ත‍්‍ර කට්ටලයේ ක‍්‍රියාකරුවන් දහ දෙනෙක් පමණ සිටින්නට ඇත. සටන ගෙනයන්නට මට ලැබුණ හමුදාවයි මේ.
”එදිරි මේක සර්විස් යුනිට් එකක් විතරයි... වර්ක්ෂොප් එකක් නෙවෙයි” වැඩ පටන්ගත් දා යාන්ත‍්‍රික අධ්‍යක්ෂ රණසිංහ මහතා නැවත අවධාරණය කළේ ය.
මම එකඟතාව පෙන්වමින් හිස සළමි.
මට ඕනෑ කොතැනකින් හෝ පටන් ගන්නටය.
අපි වැඩ පටන් ගත්තෙමු.
(ඉතිරි කොටස පසුව කියවමු)
,
//මගේ වාර්තාවට අත්සන් කළ අනෙක් වරලත් ඉංජිනේරුවරයා දැන් කැනඩාවේ වාසය කරන ධනකාන්ත පීරිස් සොයුරා බවද සටහන් කර තබමි//
ReplyDeleteමේ කියන්නේ ආදී ආනන්දීයයකු වූ ධනකාන්ත පීරිස් ගැනද? ඔහු මට වඩා පන්ති කිහිපයකට පහලින් හිටියේ සහ මහරගම පාසල් බසයේ පැමිණියේ. දවසක් අපි දෙන්නා පාසල් බසයේ ගහ ගත්තා.
ධනයට කොහොමත් අංබානකට තරහ යනවා.. ගහගත්ත එක ගැන පුදුමයක් නැහැ...
Deleteමාර සැටිපිකේට් නේ මහත්තුරු මට දෙන්නෙ - ධනේ
DeleteHa ha ha.... Yes that's the man. That is me - Dhanakantha :) :)
ReplyDelete
ReplyDelete//කුප‍්‍රකට ජේ ආර් රජීව් ගාන්ධි ගිවිසුමෙන් පසු අද රටට ගැළවී ගත නොහැකි හෙණයක් වී ඇති පළාත් සභා නම් ආයතන බිහිවිය.//
හා.. හෙහේ. ඉතුරු ටිකත්. කියවන්න බලං ඉන්නෙ
ReplyDelete