කවදත් අපේ අයියා පවුලේ බුද්ධිමතා විය. ඒ නිසා අයියා කියන කියන දේ දේව වාක්‍ය මෙන් ඇදහීමට අපි පුරුදුව සිටියෙමු. අයියා පවා ඒ බව දැන නොසිටියත් ඒවා සිදුවුණේ එහෙම ය.
අපි කුඩා කළ නාන්නට ගියේ වත්ත පහළ ඕවිටේ පිහිටි නාන ලිඳට ය. දවසක් නාන අතරේදී අයියා අපූරු තියරියක් ඉදිරිපත් කළේ ය.
”සබන් ගාලා ගොඩක් නෑවම සබන් වළ සුවඳ ඇෙඟන් යනවා”
කතාව ඇත්ත ය. එදා සිට අපි ඒ තියරිය අනුගමනය කළෙමු. සබන් ගාන්නට පෙර බාල්දි 20ක්ද සබන් ගෑවාට පසුව බාල්දි 10ක්ද නෑමෙන් අපේ ස්නානය සම්පූර්ණ කරන්නට අපි පුරුදු වූයෙමු.
ප‍්‍රශ්නය මතුවුණේ අපේ පන්තියේ සෞඛ්‍යය පාඩමේදී ය. එවකට මා සිටියේ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ 8ඒ පන්තියේ ය. අපට සෞඛ්‍යය උගන්වන්නට ආවේ ටිකක් වයසක ගුරුවරයෙකි. මට දැන් නම මතක නැත.
හොඳ සෞඛ්‍යසම්පන්න පුරුදු ගැන උගන්වමින් සිටි අපේ ගුරුතුමා සබන් ගෑම ගැන ද කතා කරන්නට පටන් ගත්තේ ය.
”ළමයි සබන් ගෑවාම අපේ සමේ තියෙන තෙල් කුණු ඉවත් වෙලා යනවා.. ඒ නිසා නානකොට සබන් ගාන්න ඕනෙ.. කියන්න බලන්න අපි වැඩියෙන් නාන්න ඕනෙ සබන් ගාන්න ඉස්සෙල්ලද ගෑවට පස්සෙද කියලා” එය නම් මටම ගැළපෙන ප‍්‍රශ්නයකි. මේ වන විටත් අපේ අයියාගෙන් ඒ ප‍්‍රශ්නයට පිළිතුර මම ඉගෙන ගෙන සිටියෙමි.
”සබන් ගාන්න ඉස්සෙල්ලා” මම පැනලා උත්තරය දුන්නෙමි. පන්තියේ හැමදාම පළමුවැනියා වුණත් කුලෑටි ශිෂ්‍යයකු වූ මට ඒ ධෛර්යය ලැබුණේ අයියාගේ දැනුම කෙරෙහි මගේ සිතේ තිබූ බලවත් විශ්වාසය නිසාම ය.
ගුරුතුමා නළල වකුටු කොටගෙන මා දෙස බැලූවේ ය.
”ඒ මොකද අයිසෙ..?” ඔහු ඇසුවේ ය.
”සබන් ගෑවට පස්සෙ ගොඩක් නෑවම සබන් සුවඳ නැතිවෙන නිසා” මම කීවෙමි.
ගුරුතුමාට අසූහාරදාහට කේන්ති ගියේ ය. එකත් එකටම ඔහු සිතන්නට ඇත්තේ ඔහුගේ වැදගත් ප‍්‍රශ්නය මම අවඥාවට ලක්කළා කියා ය.
”සබන් සුවඳ තියේවි සබන් සැරට ඇඟ කසලා හොරි හැදුනාම” ඔහු කෝපයෙන් කීවේ ය. පන්තියේ කොල්ලෝ සිනාසුණ හ.
ඒ වුණාට තවමත් මා සිතන්නේ අපේ අයියා හරිි ය කියා ය.
මා කියන්නට ආවේ ඒ කතාව නොවේ. මගේ ජීවිතය වෙනස් කළ අයියා ගේ ප‍්‍රශ්නය ගැන ය. ඒ කතාව එන්නේ මෙයට පසුව ය.
නියමයි..... අයියල මල්ලිලා ගේ කතාවලට මම හරි කැමති
ReplyDeleteමට හොදට හිතට වැදුනු කෙටි කතාවක් තිබුන ඉස්සර පරන සිංහල පොතේ අයියා මලෝ රන්ඩුවක් ගැන