ඩීබී කුරුප්ප සහ මංජුල වෙඩිවර්ධන ඒ ඓතිහාසික සාකච්ඡුාව කරමින් |
”ලංකාවෙ පත්තරයකින් ආව කෙනෙක් ජගත්ව හොයනවා..” දුරකතන පනිවුඩය ආවේ සන්නසේ අසෝක සුබසිංහ ගෙනි.
මේ මෙල්බන් කොමන්වෙල්ත් ක‍්‍රීඩා තරග සමයයි. හරියටම කියන්නේ නම් 2006 අවුරුද්දේ මාර්තු මාසයයි. තරගාවලිය වාර්තාකිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ විවිධ පුවත්පත් වලින් ක‍්‍රීඩා වාර්තාකරුවන් රැසක් පැමිණ සිටින බව මම දැන සිටියෙමි. එහෙත් තකහනියක් මා සොයන මේ ලේඛකයා කවුරුන් විය හැකිද?
”නම දන්නවද?”
”මංජුල කියල කෙනෙක්.. ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා.. කතා කරන්න..”
මම ඒ අංකයට කතා කළෙමි. අනෙක් පසින් හෘදයංගම කටහඩක් ඇසෙයි.
”ජගත්.. මචං මං මංජුල වෙඩිවර්ධන...”
රාවයේ වෙඞ්ඩා නොහඳුනන කෙනකු සිටිය හැකිද? මම මහත් සතුටට පත්වීමි.
”විශ්වාස කරපං මං ලංකාවෙන් එනකොටම කියල ආවෙ මෙල්බන් වල කවි ලියන අපේ එකෙක් ඉන්නවා.. මම කොහොම හරි ඌව හමුවෙලා තමයි එන්නෙ කියල ..” වෙඞ්ඩා කියයි. ඌ කොහොමත් හෘදයංගම එකෙකි.
වෙඞ්ඩා හිටියේ මෙල්බන් නගරයේ කොහේදෝ පාරකය.
”උඹ ඔතනම හිටපං.. මං කෙනෙක් එවනවා උඹව ගන්න..” මම කියමි. වෙඞ්ඩා ගැනීමේ කාර්යය කැමැත්තෙන්ම බාර ගන්නේ අප මිත‍්‍ර දසුන් ගජමන් ය. දසුන්ට මෙල්බන් නගරයේ පාරවල් පුරුදු ය.
”මට ඞීබී කුරුප්පු මහත්තයා මුණ ගැහෙන්නත් ආසාවක් තියෙනවා..” ඒ අතරේ වෙඞ්ඩා කියයි.
”හොඳයි.. මං ඒක ලෑස්ති කරන්නං..”
දසුන් මෙල්බන් සිට වෙඞ්ඩා කැඳවාගෙන එනතෙක් මම ඞීබී කුරුප්පු මහතා ඒ කාලයේ පදිංචිව සිටි බුලීන් හි කිත්සිරි ගේ නිවසට ගොස් ඔහු කැටුව ආවෙමි. වැඩි පෙරැත්තයකින් තොරවම මා සමග එන්නට කුරුප්පු මහතා කැමති වීම භාග්‍යයක් විය.
අපේ හමුවීමේ ස්ථානය ලෙස අප තෝරා ගත්තේ ඒ දිනවල ශ‍්‍රීනාත් මද්දුමගේ කුලියට ගෙන සිටි මිල්පාක් වල නිවසයි. ඒ ශ‍්‍රීනාත් ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ අලූතම ය. මාත් කුරුප්පු මහතාත් ශ‍්‍රීනාත් ගේ නිවසේ සිට වෙඞ්ඩා එනතෙක් බලා සිටියෙමු. දසුන්ගේ වාහනයේ වෙඞ්ඩා සමග දිනමිණේ සම්පත් බණ්ඩාරද පැමිණියේ ය. අපි මහත් සහෝදර පේ‍්‍රමයෙන් එකිනෙකා වැළඳ ගත්තෙමු.
ආ ගිය කතා අතරේ මධු සාදය හීනියට ආරම්භවෙද්දී වෙඞ්ඩා කුරුප්පු මහතා සමග සංවාදය පටන් ගත්තේ ය. මගේ මතකයේ හැටියට වෙඞ්ඩා ඒ සංවාදය පටිගත කර ගත්තේ ය. ඞීබී කුරුප්පු නම් වන සාහිත්‍යවේදියා ගේ නිර්මාණ පිලිබඳව බොහෝ දේ වෙඞ්ඩා ගේ පිලිසඳරට ඇතුල් විය. සිය ”අර්ධනාරි” පරිවර්තනය ගැන කතා කරමින් කුරුප්පු මහතා කී මේ කතාව මගේ සිතේ ඉතා තදින් තැන්පත් විය.
”පරිවර්තනයක් කියන්නෙ සාමාන්‍යයෙන් ලියනවට වඩා අමාරු දෙයක්. පරිවර්තනයකින් කෙරෙන්නෙ කතාවක්, ප‍්‍රවෘත්තියක් කියන එක නෙවෙයි. සාහිත්‍ය කෘතියක තියෙන්නෙ ගැඹුරින් විදාරණය වන හැඟීම් සමුදායක්. ඒක මතු කෙරෙන විදියට පොතක් පරිවර්තනය කරන එක ලේසි නෑ. මේක මට හොඳටම දැණුනා, ”අර්ධනාරී” කරන කොට...
ඉස්සර පරිවර්තන එක සැරෙන් ලිව්වා. තව සැරයක් බැලූවා. එච්චරයි. මේකෙදි තුන් හතර සැරේ මේකත් එක්කම ඔට්ටු වුණා. තව තව කියවමින් සකස් කළා. මට ඒකෙදි ලොකු තෘප්තියකුත් ඇතිවුණා. මුල් අදහස හුඟක් දුරට ආරක්ෂා කරගන්න හැකි වුණ නිසා. මුල් කෘතිය තුළ පාඨකයාට ලැබුණු වින්දනය සංවේදනය පුළුවන් තරම් ආරක්ෂා කරලා දීම තමයි පරිවර්තනයක වැදගත්කම. අර මහා ලේඛකයාගේ පොත, අර මහා සාහිත්‍ය කෘතිය සිංහලට දැම්මනෙ කියලා වැඩක් නෑ. වැඬේ හරියට කෙරෙන්නයි ඕනෙ.”
වෙඩ්ඩා, මම, සම්පත් බණ්ඩාර |
දිග කතාවක කෙටියෙන් කියනවා නම් එදා අපේ මධු සාදයෙන් පසු රාති‍්‍රය වෙඞ්ඩාත් සම්පත් බණ්ඩාරත් ගතකළේ අපේ බ්‍රෝඞ්මෙඩෝස් නිවහනේ ය. පසුදා උදෑසන වෙන්ව යන්නට පෙර වෙඞ්ඩා ශපථ කලේ ලංකාවට ගිය වහාම කුරුප්පු මහතා සමග කළ සංවාදය රාවයට ලියන බවය. ඔහු ඒ පොරොන්දුව ඒ හැටියටම ඉටු කළේ ය. මා දන්නා පරිදි කුරුප්පු මහතා සමග පත්තරයකින් කළ එකම සාහිත්‍ය සංවාදය එය විය හැකිය.
වෙඞ්ඩා.. ඒ උත්තම මිනිසා ගැන යමක් ලියන්නට සිතූ උඹට ස්තුතියි.. එය ඓතිහාසික සාකච්ඡුාවකි.
මංජුල වෙඩිවර්ධන ඞීබී කුරුප්පු සමග රාවය වෙනුවෙන් කළ සංවාදය මෙතැනින් කියවන්න
අපුරුයි
ReplyDeleteගහට ගහක් මැල්බෝන්වල දී හමුවෙනවා ලු!
ReplyDelete