Friday, July 21, 2017

ඞීබී සහ මම 6 - එකම ඉරණමක?

ඞීබී ගේ ජීවිතයේ සැඟවූ යමක් නොවී ය. ඒ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම ඔහු වරින් වර ලියූ චරිතාපදාන වල සඳහන්ව ඇත. සිය දිවි මග අකුරු බවට පෙරළමින් ඔහු අතින් ලියවුණ සැන්දෑවට පායන හිරු, පිතු හදක ඇත සිඟිති හිදැසක්, සැඳෑ  තරු එළියේ කිමිදෙන හිරු වැනි පොත් කොපමණ වාරයක් නම් මගේ ඇස් වලට කඳුලූ නංවන්නට ඇද්ද? ඒ චරිතයට මා සංවේදී වන්නට හේතු තිබුණි. අප දෙදෙනාම යමින් සිටියේ එකම ඉරණම්කාර ගමනක ය.


ඞීබී සිටියේ තනිවම ඇනෙක්සියකය. මා සිටියේද තනිව ඇනෙක්සියකය. අප දෙදෙනාටම දූවරුන් දෙදෙනෙකි. අප දෙදෙනාටම ඒ දූවරුන් උණුසුමට තුරුලූ කරගෙන නිදන්නට වාසනාව නොතිබුණි. මගේ දූවරුන් නිතර නිතර හමුවීමේ වාසනාව මට තිබුණි. ඒ වාසනාව ඩීබීට නොවී ය. දූවරුන් ළඟ නොසිටීමේ වේදනාට ඞීබී මහත් සේ වින්දේ ය. එ වේදනාව ඞීබී අකුරු වලට පෙරළන විට ඒ අකුරු කියවා මම රහසින් කඳුළු සැලූවෙමි. ඒ මට ඞීබීගේ වේදනාව දැනෙන නිසා ය. ඒ වේදනාවේ දිග පළල මා හොඳින් දන්නා නිසා ය.


2016 සැප් 23 - ඩීබී ගේ අවසන් පොත් එළිදැක්වීමේ දී ඩීබි සහ මම
ඒ කාලයේ අපේ කතාවේ තිබු එකම වැදගත් වෙනස අපේ වයස් මට්ටම පමණක් විය. ඒ නිසාම සිය වේදනාව පසෙක තබා ඔහු මගේ යහලූවන් අතේ මට පණිවුඩ එවුවේ ය.


”මට මේක ඒ මිනිහට කියන්න බෑ.. තමුසෙලාවත් ගිහින් කියනවකො ඔහොම ඉන්නෙ නැතුව මොකක් හරි පිලිවෙලක් වෙන්න කියල.. අන්තිමේ මට වෙච්ච දේ තමයි මිනිහටත් වෙන්නෙ” ඔහු කියා තිබුණේ එසේ ය.


”එවූ පණිවුඩය ලැබුණා.. ඒ ගැන හිතා බලන්නම්” මම ලියා යැවුවෙමි.


බුලීන්හි කිත්සිරි ගේ ඇනෙක්සියේ තනිවම සිටි කුරුප්පු මහතාගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් තිබුණි. දිවා කාලයේ නිවසේ සිටියේ කුරුප්පු මහතා පමණකි. එක් දිනක් ඔහු කාමරයේ වැටී නැගිටගන්නට බැරිව සිටියේ ය. දිනපතා ඔහුට දුරකතන ඇමතුමක් දෙන්නට පුරුදුව සිටි අපේ හිතවතකු වන ගාමිණී පැළෑඳ එදා දුරකතන ඇමතුම දෙන විට ඞීබී සිටියේ බිම ය. හොඳ වේලාවට දුරකතනය අත ළඟ තිබුණි. එදා ඞීබී ගාමිණීට කතා කළේ බිම වැටීගත්වනම ය. හිතේ තද කමට තමන් කතා කරන්නේ බිම සිට බව ඞීබී නොකීවේ ය. ඒ කාරණය හිතවතුන් දැනගත්තේ පසුව ය. තවදුරටත් ඞීබී තනිවම තැබිය නොහැකි බව තේරුම් ගත් හිතවත්තු (විශේෂයෙන් බන්දු දිසානායක - හිටපු මෙල්බන් කොන්සල්) ඞීබී වැඩිහිටි නිවාසයක පදිංචි කරවන්නට සමත් වූහ. ඞීබී එහි ගියේත් එහි සිටියේත් සතුටින් නොවේ.


වැඩිහිටි නිවාසයේ සිට ලියූ සිය ”සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු” පොතේ ඞීබී ලියූ අවසන් වගන්ති දෙක මෙසේ ය.

”මට තව ඉදිරියට ගමනක් නැත .
මට දැන් ඉතිරිව ඇත්තේ මගේ ජනේලයෙන් පෙනෙන දර්ශනය හා අතීතාවර්ජනය පමණි. දෙක ම මට මිහිරි ය”

”මිහිරි ය” කියන්නේ වේදනාව සඟවාගන්නට බව මම දනිමි.


එහෙත් සියල්ල ඉක්මණින් වෙනස් වෙයි. අප සැමගේ සිත් වලට මහත් සැනසීමක් ගෙනදෙෙමින් ඞීබී ගේ බාල දියණිය (ඞීබී ගේ වැඩිමල් දියණිය පදිංචිව සිටියේ ඇමරිකාවේ ය) නිවසක් මිලට ගෙන තාත්තා තමා ළඟට ගත්තා ය. ඞීබී එතැන් සිට ගත කළේ මහත් සැනසීමකින් සතුටකින් යුතු දිවියකි.


”චූටි පුතා” ළඟ ගෙවන දිවිය ගැන ඔහු  කතා කරන විට දීප්තිමත් වන ඔහුගේ ඇස් මට මතක ය.


ඔහු ජීවත්ව සිටියදීම මම මගේ ඉරණම වෙනස් කරගතිමි. ඩීබී තරම් ඒ ගැන සතුටු වූ පුද්ගලයකු නොසිටින්නට ඇත.


පසු සටහන - ඞීබී පිලිබඳ මා ලියමින් සිටින මේ ලිපි පෙළ මා ලියන්නේ මගේ මතකය මත පදනම්ව ය. එහෙත් අපේ එකම ඉරණම පිලිබඳ මේ සටහන ලියන්නට පටන් ගත් පසු ඔහුගේ ජීවිතය ගැන ලියූ පොත් කීපයක් නැවත පෙරළා බැලූවෙමි. ඒ සටහන් නැවත නැවතත් මගේ ඇස් වලට කඳුලූ ගෙන එයි. ඒ වේදනාව කටුක ය. එනිසා ඒ පොත් නැවත රාක්කයේම තබමි. අපේ ඉරණම්කාර ගමන පිලිබඳ මා ලියන්නට සිටි සියල්ල නොලියා මේ සටහන මෙතැනින් නවත්වමි. 


මතු සම්බන්ධයි

4 comments:

  1. ගාමිණී පැළෑඳ යනු ජර්මානු තාක්ෂණ ආයතනයේ(ජර්මන් ටෙක්) ඉගෙනුම ලැබුවෙක්ද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete