Wednesday, July 19, 2017

ඩීබී සහ මම 5 - රාජාලි පියාපත ඩීබී ට

ඩිබී කුරුප්පු මහතා තරම් කැපවීමෙන් ලේඛණයේ යෙදුණ තවත් ලේඛකයකු මා දන්නේ නැත. ඔහු ලිව්වේ පුදුමාකාර වේගයකිනි. ඔහුට සතුව තිබුණේ පුදුමාකාර ස්මරණ ශක්තියකි. අවුරුදු තිහ හතලිහකට නොව අවුරුදු පනහකට එහා සිදුවූ සිදුවීමක් දින වකවානු සහිතව කියන්නට හැකියාවක් ඔහුට විය. ඒ සමගම සිංහල භාෂාව පිලිබඳව ද ඔහුට තිබුණේ විශාල දැනුම් සම්භාරයකි. යමක් පැහැදිලි කරගන්නට අවශ්‍ය වූූ විට අපට සිටි දැනුම් ගබඩාව ඔහු විය. නිවැරදි වචනයක් සොයා ගන්නට ව්‍යාකරණයක ගැටලූවක් විසඳා ගන්නට ඔහු අපේ අත ළඟම සිටියේ ය. මේ මහා පුරුෂයාට මගේ කෘතවේදිත්වය දැක්වීම සඳහා මගක් මම සොයමින් සිටියෙමි. මගේ දෙවන කාව්‍ය සංග‍්‍රහය වූ ”රාජාලි පියාපත” ඔහුට පුදන්නට මම සිතුවෙමි. එනමුදු එය රහසක් වශයෙන් රැකගන්නට මට අවශ්‍ය විය.

2010 වසරේ ජනවාරි 9 වන දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී මගේ පොත් එළි දැක්වීමක් සිදුවිය. ”රාජාලි පියාපත” ට අමතරව මගේ යොවුන් නවකතාවක් වූ ”ඉස්කෝලෙ කාලෙ” හා සන්නසේ කොටස් වශයෙන් පළ කළ ”තාරකා විජිතය” නවකතාව එළිදැක්වීමද එදින සිදුවිය.

මේ උත්සවය සංවිධානය කළේ තරංග ජයසේන ප‍්‍රමුඛ බූන්දි කණ්ඩායමයි. යම්කිසි වෙනස් ආකාරය වැඩ සටහනක් සකස් කරන්නට ඔවුහු මහත් උත්සාහයක් ගත්හ. උත්සවය පෙරදා අපි (ඩෝසන් ප‍්‍රීති, සංඛ,අමිලඇතුලූ කණ්ඩායම) තරංග ගේ කැන්දලියද්දපාලූවේ නිවසේ රැය ගත කළ අන්දම මට අමතක නොවේ. එදා රැ තුන් තිස් පැයක් ගතවන තෙක් මා ගැන වීඩියෝවක් හදන්නට ඔවුහු වෙහෙස වූහ.

පසුදා පැවති උත්සවයේදී මම රාජාලි පියාපත මගේ සාහිත්‍ය වීරයා වූ ඞී බ කුරුප්පු මහතාට පුද කළෙමි. ”මේ ශ්‍රේෂ්ට ලේඛකයාට මගේ කෘතවේදීත්වය පුද කරනු වස් මේ පොත ඔහුට පුද කරමි” යයි මම එහිදී කීවෙමි. ඞීබී වෙනුවෙන් පොත බාරගත්තේ වරුණ සාවින්ද ය.


ඒ අවස්ථාවේ වීඩියෝව.


සම්පූර්ණ උත්සවය පිළිබඳ වීඩියෝවක් අවශ්‍ය නම් මෙතැනින් බලන්න.

ලංකාවේදී මා මෙවැන්නක් කළ බවක් ඞීබී දැන සිටියේ නැත. ඔහුට මේ බව කියා ලකුණු දමාගන්නට අවශ්‍යතාවක්ද මට නොවී ය. වෙන කිසිවකු නොකියන්නටද ඇත. ඞීබී කුරුප්පු නම් වන සාහිත්‍යකරුවාට මා අතින් සිදුවුණ බොහෝ දේ මෙන්ම මෙයද මියයන තෙක්ම ඞීබී එය නොදැන සිටින්නටද ඇත. මම ඔහු පිලිබඳ මගේ කෘතවේදීත්වය එසේ ප‍්‍රකාශ කර මගේ සිතේ වූ බර සැහැල්ලූ කර ගෙන නිහඬව සිටියෙමි. ඒ සැනසීම මට ප‍්‍රමාණවත් ය.

නැවත මෙල්බනයට ගිය පසුව මම ඒ කාලයේ ඞීබීගේ නවාතැන වූ බුලීන්හි ඇනෙක්සියට ගොස් ඔහුට පොත පිළිගැන්නුවෙමි. මගේ කවි පොත ඔහුට පිළිගන්වා ඇති බව දුටු ඞීබී මහත් සතුටට පත්විය.

”මෙතෙක් කාලෙකට මට පොතක් පිළිගන්වලා තියෙන්නෙ එකම එක මිනිහයි. ඒ ලංකාවෙදි. මේ තමයි මට කවුරු හරි පොතක් පිලිගන්වපු දෙවන අවස්ථාව.” ඔහු කිවේ ය.

මා ඞීබී ගේ ඇනෙක්සියේදී ඔහුට පොත පිළිගන්වන අවස්ථාවේදී ගත් මේ සේයාරුවේ පිටපතක් මම පසුව ඔහුට දුන්නෙමි. ඔහු බුලීන් නිවසින් යන තෙක්ම ඒ සේයාරුව ඒ කුඩා සාලයේ කාටත් පෙනෙන තැනක තබාගෙන සිටියේ ය.

ඒ සේයාරුව ඔහුගේ අවමංගල උත්සවයේදී ඔහුගේ දේහය බහා තිබූ තැනට ඔබ්බෙන් වූ තිරයේ ප‍්‍රදර්ශනය වූ සෑම අවස්තාවකදීම මට එදා පොත පිළිගැන්වූ අවස්ථාවේ ඞීබීගේ ඇස්වල තිබූ සතුට මුහුණේ ඇඳුණ සිනාව නැවත නැවතත් සිහිපත් විය.

5 comments:

  1. කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී 2010 වසරේ ජනවාරි 9 වන දා පැවැත්වුණු පොත් එළිදැක්වීමේ උත්සවයේ මුල් පැයක් පමණ මා උදේ මාතරින් පිටත් වී ආ නිසා මග හැරුණා, නමුත්, සර්පයා ගේ පැයක් දිග දේශනය නම් මග හැරුණේ නෑ.

    ඒ වසරේ ම, මැයි නමවෙනි දා මෙල්බර්න් හි තිබුණු උත්සවයටත් මට එන්න ලැබුණු නිසා, ජිවිතයේ එකම වතාවට ඩීබීකුරුප්පු මුණු ගැසීමට අවස්ථාව ලැබුණා!

    ReplyDelete
  2. පොඩි ප්‍රශ්නයක්.

    මෙල්බර්න් පොත් එළි දැක්වීමේ උත්සවයේ දී ඩීබී කුරුප්පුට රාජාලි පියාපත නොව ඉස්කෝලේ කාලේ පිළිගැන්වුවේ රාජාලි පියාපත පිටපතක් ඔහු ළඟ ඒ වෙනවිටත් තිබුණු නිසා ද?

    මෙන්න එදා පින්තූර, මාත් ඉන්නවා පෝලිමේ අන්තිමට!
    http://www.sarasaviya.lk/2010/05/13/_art.asp?fn=sa10051313&pn=20

    ReplyDelete
    Replies
    1. පුදුම මතකයක්නෙ රසිකට තියෙන්නෙ.. :)

      Delete
    2. විශිෂ්ට මතකයක් තිබුණු ඇයි ඩී බී කුරුප්පු ලේඛකයා ගේ මතකය තරම් නම් හොඳ නෑ!
      මට මතක මා කෙලින් ම සම්බන්ධ දේ විතරයි!!

      Delete