ඩබල් බහු වචන කාරයන් බෝ කළ වයිරසය
බණ්ඩාරනායක ඝාතන නඩුවේ නීතිඥ වාදීභසිංයන් දුර්මුඛ කළ තම වාග් චාතුර්යය හා උපහාස කෞශල්‍යය කරණ කොටගෙන ඉතිහාසගත වුණු පියදාස මලල්ගොඩ කිවිඳුන් එදා සිංහල අතිපණ්ඩිතයකු පරම අවඥාවට ලක් කළේ ඔහු “ගොනා තණ කයි” යන්න “ගොනා තන් දෙකම කයි” යනුවෙන් ඔහු වචනයට හැරවූ භාෂා තකතීරුවකු ලෙස හඳුන්වා දෙමිනි. මෙකල වසංගතයක් සේ බෝ වී ඇති තකතීරු භාෂා විලාසිතා අතර ඩබල් බහු වචන විලාසිතාව බොහෝ ලේඛකයන්ගේ හා නිවේදක නිවේදිකාවන්ගේ උග්‍ර මනෝ ව්‍යාධියක් වැන්න.
2021-11-09 වැනි අඟහරුවාදා “ඩබල් බහු වචනකාරයෝ” නමින් ලංකාදීප පුවත්පතේ පළ වුණු මගේ විවරණ මිහිර ලිපිය මඳක් සකස් කළ මම එය මගේ ෆේස්බුක් තීරුවේ යළි පළ කළෙමි. ඊට ලැබුණු සාමාජික ප්‍රතිචාර බොහෝය. ඒ අතර සුප්‍රකට පරිගණක විද්වතෙකු වන පුෂ්පානන්ද ඒකනායකයන්ගේ ප්රශස්ත විචාර සටහනක් විය.
එය මෙකල වෙසෙන සියලුම සිංහල භාෂා ලැදි වියතුන්ගේ අවධානයට ලක්විය යුත්තකැයි සිතමි. පුෂ්පානන්දයෝ මෙරට පරිගණක තාක්ෂණ ක්ෂේත්රයේ පුරෝගාමියෙකි.
ලංකාවේ පරිගණක භාවිතය ආරම්භ වූ සමයේ සිංහල අකුරුවල පිල්ලම් පැහැදිලිව නොවැදීම නිසා ටයිප් කළ ලේඛන කියවීමේ දුෂ්කරතා මතු වීය. එය වූ කලී සිංහල අකුරුවලට අයත් පිල්ලම් ක්රමයේ වරද නිසා වූවක් සේ දක්වමින් පිලි වෙනස් කළ යුතු බවට හඬ නැගුවෝ ද එකල වූහ. ඒ ගැන කිසිවක් නොතෙපලා කරබාගෙන පරිගණකයට ඕනෑ විදිහට සිංහලය සකස් නොකොට සිංහලයට ඕනෑ විදිහට පරිගණකය සකස් කළ පරිගණක තාක්ෂණයෙහි හසල එඩිතර භාෂා ප්‍රේමියෙක් ද ඒ අතර විය. ඒ වනාහි පුෂ්පානන්ද ඒකනායක නම් භාෂා පරිවර්තක විද්වතයා.
පහත දැක්වෙන්නේ ඔහු විසින් මගේ ෆේස්බුක් ලිපිය නිමිති කරගෙන එවන ලද ප්රශස්ත විචාර සටහනයි.
“මේ ‘යන්’, ‘වන්’ යෙදුම් ගැන මම යම් යම් තැන්වල කතා කර තිබෙනවා. මගේ පරිගණක සිංහලය පොතේ ද මේ ගැන තිබෙනවා. වචන බර කිරීමේ මේනියාවෙන් පෙළෙන නව මාධ්‍යකරුවන් අතින් මෙය දිගින් දිගටම ඇදීගෙන යනවා. මට පරිගණක අකුරු පිරික්සනයක් සැකසීමේ කටයුත්තට ආ විශාල බාධාවක් මෙය. නිශ්චිත බහුවචනය අභිබවා යමින් එන මේ අලුත් බහු වචන රැල්ල සහ එහි දෝෂ ගැන භාෂා ප්‍රේමීන් කතා නොකිරීම ගැන වසර ගණනාවකම සිට කනගාටුවෙන් ඉන්න කෙනෙක් මම. මේ කාරණය නිසා සිංහලයේ නිශ්චිත වචන කෝෂයක් තනා නිම කිරීමට හැකියාවක් නැති වෙලා තියෙනවා. දැනට අපට ඇසෙන මෙහි දක්වා ඇති වචනවලට අමතරව ‘චිත්රයන්’ වැනි වචනත් මා අසා තිබෙනවා.
මේ අනුව යමින් පරිගණක වචන කෝෂයට ‘පාරයන්’, ‘ජනේලයන්’, ‘ඇළයන්’, ‘දොළයන්’ යනුවෙන් ඉදිරියේ වචන එතැයි සිතා කටයුතු කරන්නට අපට සිදු වේ ද? ‘හේතුව’, ‘හේතු’, ‘නීතිය’, ‘නීති’ වචනවලට අමතරව මේ ජුගුප්සාජනක ‘හේතූන්’, ‘නීතීන්’ යන අමතර අලුත් යෙදුම් වචන කෝෂයට හෙවත් පරිගණක දත්ත ගබඩාවට එක් කෙරිය යුතු ද? එසේ සිත සිතා කරන්නට යෑමෙන් හෙවත් අපට නිම කරන්නට බැරි වචන කෝෂයක් හේතුවෙන් වටිනා තාක්ෂණ පහසුව තව බොහෝ දුර වෙයි ද? වෙනත් රටවල වෙනත් භාෂාවල දැනටමත් ප්‍රයෝජන ගන්නා වටිනා පරිගණක මෙවලම් මේ අමන භාෂා ව්‍යවහාර හේතුවෙන් පමා වීම විග්රහ කරන්නේ කෙසේ ද? මෙය තේරුම් ගැනීමට හැකි අය දැන් අප අතර අල්ප වී ඇති බවයි මට හැඟෙන්නේ.”
කොම්පියුටර් හෙවත් පරිගණක යුගය එන්නට පෙර උදාව තිබුණේ ටයිප් රයිටරය හෙවත් යතුරු ලියනය රජ කළ යුගයයි. ඒ තාක්ෂණය හා එකට බැඳී තිබුණු අනෙක් ශිල්පය වූ කලී ‘ෂෝර්ට් හෑන්ඩ්’ හෙවත් ‘ලඝු ලේඛනය’යි. අද පරිගණකය මෙන් එදා යතුරු ලියනය හා ලඝු ලේඛනය ද ලිපිකාර සේවයට අත්‍යවශ්‍ය අනිවාර්ය අංගයක් විය. මේ තාක්ෂණ පුහුණුව ලබා දෙන ජනප්‍රිය ආයතනයක් පනහේ, හැටේ දශකවල වැල්ලවත්තේ පිහිටා තිබුණි. එය ‘පොලිටෙක්නික්’ නම් විය. මෙකල පරිගණක පුහුණු ආයතන මෙන් එකල වූ පොලිටෙක්නික් ආයතනය ද භද්‍ර යෞවනයේ හුන් තරුණ තරුණියන්ගෙන් පිරී පැවැතුණි.
ෂෝර්ට් හෑන්ඩ් හෙවත් ලඝූ ලේඛනයේ ආදි නිර්මාපකයා එකල ඒ ආයතනයට මහත් වූ කීර්තියක් අත් කර දෙමින් එහි වැජඹුණි. ඔහු මුනිදාස කුමාරතුංග පඬිඳුන්ගේ හෙළ හවුලට ලැදි කීර්තිමත් විද්වතෙකි. ඔස්ටින් කැන්ටර් නමැති තුමෝ ද පුෂ්පානන්ද පරිගණක විද්වතාණන් මෙන්ම සිංහලය විකෘති කිරීමට එරෙහි වූ වියත් භාෂා ප්‍රේමියෙකි. ‘හෙළ බස් රුකුල’ සහ ‘සම්මත යෙදුම’ යන කෘති දෙක ඔහුගේ භාෂා දැක්ම හා ඇල්ම සනාථ කරන ප්රත්යක්ෂ සාක්ෂි වෙයි. නිරවුල් ලේඛන සිංහලයක් බිහි කිරීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය.
මෙරට පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී නාලිකා, කවි, කෙටිකතා, නවකතා, නාට්‍ය හා පරිවර්තන ක්ෂේත්‍ර, රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙනත් සාහිත්‍ය විනිශ්චය මණ්ඩල ආදියෙහි වියත් බස නොහදාළ අය අද අපට මෙසේ සුලබව දක්නට ලැබෙන්නේ ඇයි? මොවුහු වනාහි නිදහස් අධ්‍යාපනයෙන් පසු බිහි වූ පරපුරකි. පාසල් පද්ධතියක් හා විශ්වවිද්‍යාල පද්ධතියක් චිරස්ථීන රටක බිහිව ඉගෙන හැදුණු වැඩුණු පරපුරකි.
එහෙත් මොවුන්ගෙන් වැඩි දෙනෙකු තම මවු බස නොහදාළ එබැවින්ම ඊට සංවේදී නොවන තම සංස්කෘතියට අයත් පුරාතන සම්භාව්‍ය සාහිත්‍ය ධාරාවට මුළුමනින්ම ආගන්තුක වූ ඕපපාතික අහිංසකයන් රැළක් බව මම ප්රත්යක්ෂ අත්දැකීමෙන්ම දනිමි. විසි වසරකට වැඩි කලක් තිස්සේ මම ‘පෙරවදන’ නමින් යුත් වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ අඛණ්ඩව ඉදිරිපත් කළෙමි. එය වනාහි ලේඛකයන් හා ඔවුන් ලියා පළ කර ඇති විවිධ පොත පත හඳුන්වා දෙන වැඩසටහනකි. එහිදී මේ පරපුරේ තරුණ ලේඛක ලේඛිකාවන්ගේ බස නිබඳව මගේ ඇස ගැසිණ. හැත්තෑවේ දශකයේ මා ගුවන්විදුලියෙන්ම ඉදිරිපත් කළ ‘අද ලියැවෙන කවි’ වැඩසටහනේ ඔවුන්ගේ කවි බස ද දුටිමි.
දිගු කලක් තිස්සේ මවිසින් පවත්වාගෙන ආ ගුවන්විදුලි රූපවාහිනී පාඨමලාවේදී ද මම මේ පරපුරට අයත් ආදරණීය තරුණ තරුණියන්ගේ බස හඳුනා ගත්තෙමි. ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන ලද ජන සන්නිවේදන සහ නාට්‍ය පාඨමාලා දෙකේම නිත්‍ය දේශකයකු වශයෙන් මම එහිදී හමු වුණු භද්‍ර යෞවන පරපුරේ බස ද ඇසූයෙමි. දුටුවෙමි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන කාලයේ මෙන්ම ඉන් පසුවත් එමගින් දිවයින පුරා පැවැති සිංහල භාෂා ගුරු නියාමක පුහුණු සම්මන්ත්රණ මාලාවේ නිත්‍ය දේශකයකු හැටියට මම තරුණ ගුරුවරු ගුරුවරියන්ගේ භාෂාව ද අවුරුදු ගණනක් තිස්සේ කනින් ඇසින් හඳුනා ගත්තෙමි. කැලණිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල දෙකේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් එහි විද්‍යාර්ථීන්ගේ බස හඳුනා ගැනීමට ද අවස්ථාව ලදිමි.
මෙහිදී මට එක් කරුණක් ඉඳුරා පසක් වුණි. එනම් මේ පරපුරේ භාෂා පරිහානියත්, භාෂා අංසවේදීන්වත් බෝ කළ වයිරසය හටගත්තේ මෙරට පාසල් පද්ධතිය තුළ බවය. එය කෙසේ සිදු වූවක් ද? දේශපාලන ලේ මාපිලුන්ගෙන් සෑදුණු ඒ ඒ ආණ්ඩු විසින් තම පැවැත්ම සඳහා ක්‍රියාත්මක කළ ජාතික ප්රතිපත්තියකින් තොර තාවකාලික අධ්‍යාපන ප්‍රතිසංස්කරණම මේ වයිරසය බිහි කිරීමට එකම තෝතැන්න වීය යනු මගේ අවංක හැඟීමයි. මෙසේ ක්‍රියාත්මක කළ එක්තරා ප්‍රතිසංස්කරණයක අනිෂ්ට ප්‍රතිඵලයක් වශයෙන් එතෙක් පාසල් පද්ධතියේ සිටි නිර්මාණාත්මක බහුශ්‍රැත සිංහල ගුරුවරයාට ගතානුගතික අල්පශ්‍රැත ගුරුවරයකුගේ තැනට ඇද වැටීමට සිදු විණ.
එය කෙසේ සිදු වූවක් ද? පෙර වූ සිංහල භාෂා සාහිත්‍ය ගුරුවරයා තම පුරාතන සාහිත්‍ය කෘති ඇතැඹුල සේ උගත්තෙකි. ඔහුට සම්පූර්ණ පුරාණ සාහිත්‍ය කෘතියක් ඉගැන්වීමට සිදු වුණ නිසා ඔහු පුරාතන සාහිත්‍ය පද්ධතියම පරිශීලනය කළ හෙයිනි. ඔහු එපමණකින් නොනැවතුණි. නූතන සාහිත්‍ය කෘති විනිශ්චය කළේ පැරැණි සාහිත්‍ය හා සසඳමිනි. ඔහු බහුශ්‍රැතයකු වූයේ එලෙසිනි. පැරැණි පොත්වල කෑලි සහිත පෙළ පොත් ක්‍රමය පැමිණීමත් සමග බහුශ්‍රැතය අතුරුදහන් විය.
එතෙක් පාසල් පද්ධතියේ සිටි නිර්මාණාත්මක හා සිංහල භාෂා සාහිත්‍ය ගුරුවරයා මරා දැමුවේ කෙසේ ද? ඒ ගුරු අත්පොත් නමැති අච්චුවට සිර කොට ගුරුවරයාගේ නිර්මාණාත්මක විභවය අභාවයට යවමිනි. මේ ඩබල් බහු වචන පරපුර ඒ දුර්විපාකයේ අනිෂ්ට ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීම කවර වරද ද?
කරුණාරත්න අමරසිංහ