Monday, November 1, 2021

චිත්‍රකතා පිස්සකු ගේ මතක සටහනක්

ලංකාවේ චිත්‍රකතා යුගය පිළිබඳ ෆේස්බුක් අවකාශයේ නව ප්‍රබෝධයක් ඇතිවී ඇති බව ඒ පිළිබඳව සතිපතා ලියැවෙන බොහෝ ලියවිලි වලින් පෙනී යයි. එය සතුට දනවන කාරණයකි.


ලංකාවේ පළමු චිත්‍රකතා පත්තරය වූ ලේක්හවුසියේ සතුටත් ඉන්පසු පළවූ ටයිම්ස් ආයතනයේ රූපරේඛා පත්තරයත් ඒ කාලයේ අපි මිලට ගත්තෙමු. මා ලියූ කවියක් පළමු වරට පළවූයේ රූපරේඛා පත්තරය සමග ආ ළපටිපෙළ අතිරේකයේ ය. එනිසා රූපරේඛාවට අදත් මගේ සිතේ මහත් කැමැත්තක් වෙයි. අපේ තාත්තා ගේ වෙළඳ ව්‍යාපාරය නිසා ලංකාවේ පළවන හැම පත්තරයක් ම කියවන්නට අපට වාසනාව ලැබී තිබුණ අතර ඒ නිසා ම පුවත්පත් කියැවීමේ ඇබ්බැහියක් අප අතර විය. විශේෂයෙන් මේ ඇබ්බැහියට ගොදුරු වි සිටියේ අයියාත් මාත් ය. අපි කියවූ පත්තර වලින් කීපයක් සතිපතා අපි අයිති කර ගත්තෙමු. නවයුගය, මිහිර, සතුට, රූපරේඛා, සරසවිය, සිළුමිණ හා රිවිරැස අප සතිපතා අයිතිකරගත් පත්තරයි.


මේ අතරේ චිත්‍රකතා ලෝකයේ මහා පෙරැළියක් සිදුවිය. ඒ සිත්තර චිත්‍රකතා පුවත්පත මල්ටිපැක්ස් ආයතනය විසින් බිහිකරනු ලැබීමයි. දර්ශනීය ඕෆ්සෙට් මුද්‍රණයෙන් බිහිවුණ සිත්තර ඉතා පහසුවෙන් අනෙක් චිත්‍රකතා පත්තරවල අලෙවිය අභිබවා ගියේ ය. ඇස් කඩා ගෙන යන වර්ණයෙන් යුත් ඒ කුඩා පත්තරයට අපි වහ වැටුනෙමු.


සිත්තර බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා වූයේ බම්බලපිටියේ ගාලුපාර අයිනේ වෙරළ පැත්තට යන මාවතක පිහිටි ලියනගේ නම් වූ (මට මතක හැටියට) මහතෙකු ගේ පත්තර ඒජන්සියයි. සිත්තර ආ යුගයේ එයට තිබූ අති මහත් ඉල්ලුම නිසා වෙළඳසැලකට ඒ පුවත්පත ලබා ගැනීම විශාල අභියෝගයක් විය. ලියනගේ මහතාත් අපේ තාත්තාත් අතර වූ හැඳුනුම්කමක් නිසා අපට සිත්තර පත්තර 500 ක කෝටාවක් ලැබී තිබුණි. 


සිත්තර වෙළඳසල්වලට බෙදාහැරියේ නැත. පත්තර කෝටා හිමි අය බම්බලපිටියට ගොස් ලියනගේ මහතා ගේ පත්තර ඒජන්සියෙන් පත්තර ලබා ගත යුතු විය. මේ රාජකාරිය මොන ක්‍රමයකින් හෝ පැවරුණේ කුඩා මට ය. සෙනසුරාදා උදෑසන තාත්තා දෙන මුදල සාක්කුවේ දමා ගන්නා මා බස් දෙකකින් බම්බලපිටියට ගොස් පත්තර 500 මිටි දෙක දෑතින් ගෙන නැවත ඇඹුල්දෙණියට ආ හැටි මට තවමත් මතක ය.


සෑම සෙනසුරාදාවක ම මා පත්තරත් රැගෙන ඇඹුල්දෙණියෙන් බසයෙන් බසින විට අපේ වෙලඳසල ඉදිරියේ මහා සෙනගකි. ඒ සිත්තර ගන්නට ය. වදෙන් පොරෙන් පත්තර මිටි දෙක වෙළඳසල තුළට ගෙන යන මා පළමුව කරන්නේ පත්තර දහයක් පමණ සැඟවීමයි. ඒ අපට කියවන්නටත් දන්නා අඳුණන කෙනෙකුව අවශ්‍ය වුවහොත් දෙන්නටත් ය. ඊළඟ විනාඩි පහ ඇතුළත සිත්තර පත්තර සියල්ල වාෂ්ප වූවා සේ අවසන් වන බව අපි දැන සිටියෙමු. සිත්තරට වූ අධික ඉල්ලුම නිසා පත්තර කෝටාව වැඩිකරගන්නටත් කිසිදු අවසරයක් නොවී ය.


එක සෙනසුරාදාවක සිදුවූයේ මහා ඇබැද්දියකි. මම බම්බලපිටියෙන් බැස ලියනගේ මහතා ගේ පත්තර ඒජන්සියට ගොස් මුදල් ගෙවන්නට සාක්කුවට අත දැම්මෙමි. සාක්කුවේ තිබූ මුදල් අතුරුදන් ය. එක්කෝ කවුරුන් හෝ පොකට් ගසලා ය. නැත්නම් සාක්කුවෙන් බිම වැටිලා ය. මොන දේ වුණත් දැන් ගෙවන්නට මගේ අතේ මුදල් නැත. පත්තර ගේන්නට ගිය කුඩා දරුවා හඬන්නට ඔන්න මෙන්න ය.



“ළමයි, එදිරිසිංහ මහත්තයගෙ පුතාට පත්තර ටික දෙන්න” ලියනගේ මහතා සේවකයන්ට කීවේ ය. “පුතා ලබන සතියෙ ආවාම සල්ලි ගෙවන්න” ඔහු මා අස්වැසුවේ ය.


මම ඒ කාලයේ සිට ම චිත්‍රකතා පිස්සෙක්මි. ඒ වන විටත් පොත් හත් අටසීයක් කියවා සිටි මට චිත්‍රකතාවක හොඳ නරක තේරුම් ගන්නට හොඳ දැනුමක් සහ හැකියාවක් විය. චිත්‍රකතාවක් පාඨක සිත් ගන්නේ එහි චිත්‍ර නිසා ම නොවේ. කතාවේ හරවත් බව පමණක් නොව දෙබස් පවා එයට බලපායි. බන්ධුල හරිශ්චන්ද්‍ර, පී වික්‍රමනායක, දයා රාජපක්ෂ, ජනක රත්නායක වැනි ශිල්පීන් සදා අපේ මතකයේ රැඳී ඉන්නේ ඔවුන් ඉදිරිපත් කළ කතා වල තිබූ ප්‍රබලත්වය නිසා ම ය. කවුරු මොනවා කීවත් චිත්‍රකතාව බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉතා ආධුනික චිත්‍රශිල්පීන් අතින් බිහිවුණ හරයක් නැති චිත්‍රකතා වලින් චිත්‍රකතා පත්තර පිරී යාම ය යන්න මගේ පිළිගැනීමයි. අනෙක් කාරණය හතු පිපෙන්නාක් මෙන් විවිධ නම් වලින් කසිකබල් චිත්‍රකතා පත්තර බිහිවීමයි. කුමන හේතුවක් නිසා සිදු වුව ද ලංකාවේ චිත්‍රකතා පත්තර අභාවයට යාම ඉතා කනගාටුදායක කතාවකි.


සිත්තරෙන් සංවිධානය කළ එහි පළ වන චිත්‍රකතා සඳහා ගී පද ලිවීමේ තරගයටද ගී ලිව්වෙමි. එය වෙනම කතාවකි.. ආධුනිකයන් සඳහා අවස්ථාව දෙනවා යයි කියූ නමුත් අවසානගේ කැසට් පටය එළියට එන විට එහි සිටියෝ ඒ වන විටත් නමක් දිනාගෙන සිටි ගී පද රචකයෝ ය.


චිත්‍රකතාවට නැවත පණ දෙන්නනට දරණ උත්සාහය අගය කළ යුතු ය. නැවත දවසක චිත්‍රකතා පත්තරයක් ලංකාවේ බිහිවනවා නම් සතුටු වන පිරිස අතර ඉදිරියෙන් ම සිටින්නට මම කැමැත්තෙමි.


මම තවමත් චිත්‍රකතා පිස්සෙක්මි.


රසික සූරියාරච්චි සංස්කරණය කරන සිසිල ඔන්ලයින් සඟරාවට ලියූ ලිපියකි


Monday, October 4, 2021

ඩීමන් ආනන්ද මතකය


අපේ ආච්චිට - අම්මා ගේ අම්මාට - සහෝදරියෝ දෙදෙනකු වූහ. වැඩිමහලු නැගණිය නන්දිසේන කුරේ සිරිසේන කුරේ මාමලා ගේ අම්මා ය. ඇය කොටහේනේ පුංචි ආච්චි ය. ඔවුන් පදිංචිව සිටියේ කොටහේනේ ය. ඒ කාලයේ අප විසූ මිරිහාන සහ කොටහේන එකිනෙකට බොහෝ දුර ය. ඒ නිසා ඇය අපට හමුවුණේ කලාතුරකිනි. 

දෙවෙනි නැගණිය විසුවේ ඇඹුල්දෙණියේ බැවින් අය අපට සමීප විය. අපි ඇයට කීවේ නිකම්ම “පුංචි ආච්චි” කියා ය. අපේ ආච්චිත් පුංචි ආච්චිත් කතා කියන්නට රුසියෝ වූහ. අපේ ආච්චි සිටියේ අප සමග ය. රෑට නිදන්නට පෙර ඇයට බුලත් විටක් කොටා දෙන පුංචි අපි ඇගේ ඇඳ අසළ බිම වාඩිවී ඇගෙන් කතා අසාගත්තෙමු. බුලත් විට හපමින් ඈ අපට අතිවිශාල ප්‍රමාණයක් රජකතා කියා දුන්නා ය.


අපේ ආච්චි මිය පරළොව ගියායින් පසු කතා අසාගන්නට අපට සිටියේ පුංචි ආච්චි ය. ඉඳහිට දවසක ඇඹුල්දෙණියට ගොස් කතා අසාගත් හැටි මතක ය. එහෙත් හැබෑම ලොතරැයිය ඇදුණේ පසුව ඇය අපේ ගෙදරට පදිංචියට ආ පසුව ය. ඇය සිටියේ අපේ මහගෙදරට යාබදව තිබූ ඇනෙක්සියක ය. ඇනෙක්සියත් අපේ ගෙදරත් දොරකින් සම්බන්ධව තිබුණ අතර දොර පලු නොතිබූ දොර වැසෙන ලෙස ඇගේ පැත්තෙන් අල්මාරියක් තබා තිබුණි.


පුංචි ආච්චි අපට රජ කතා පමණක් නොව චිත්‍රපටි කතා පවා කියා දුන්නා ය. ඇය වතාවක් කාගෙන්දෝ අසාගෙන අපට කියාදුන් “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටයේ කතාව මට තවමත් මතක ය. ඒ කතාව ඇය කොයිතරම් විශිෂ්ට ලෙස අපේ සිතේ මැවුවා ද කියන කාරණය මට වැටහුණේ ඇත්තට ම ඒ චිත්‍රපටය නැරඹූ දවසේ ය. එහි සෑම රූප රාමුවක් පාසා ම ඇය කල් ඇතිව කිසිදු අඩුවක් නැතිව අපේ සිත් වල ඇඳ තිබුණි.


ඩීමන් ආනන්ද ගැන කියන්නට ගොස් මේ වැල්වටාරම් කියන්නට සිදුවීම ගැන සමාවිය යුතුය. නියම මාතෘකාවට පිවිසෙන්නේ දැන් ය.





පුංචි ආච්චි සතුව විශාල ට්‍රන්ක පෙට්ටියක් විය. ඒ යකඩ පෙට්ටිය ඇය ආරක්ෂා කළේ නිධානයක් රකින්නා සේ ය. ඒ පෙට්ටිය පිරී තිබුණේ සියගණනක් වූ කතන්දර පොත් වලින් ය. වැඩියෙන් ම තිබුණේ ඩීමන් ආනන්ද ගේ කතා පොත් ය. අපි බොහෝ පින්සෙන්ඩු වී ඉඳ හිට පොතක් ඉල්ලා ගනිමු. මට පොත් දෙන්නට ඇය වඩාත් කැමති වූයේ මා පොත කියවා එයට කවරයක් ද දමා ඒ කවරයේ පින්තූරයක් ද ඇඳ ගරු සරු ඇතිව ආපසු බාරදුන් බැවිනි. 


ඉඳහිට පොතක් කියවා අපේ කියැවීමේ පිපාසය සන්සිඳවාගන්නට නොහැකි බව අපි දැන සිටියෙමු. ඒ නිසා අප කළේ පුංචි ආච්චි නිවසින් බැහැරව යන වේලාවක් බලා සිට අපේ ගෙවල් දෙක වෙන්කළ අල්මාරිය උඩින් ඇගේ කොටසට පැන අර ට්‍රන්ක පෙට්ටියෙන් පොත් අරගෙන කියවීම ය. පුංචි ආච්චි ආපසු එන්නට පෙර පොත් ආපසු දමන්ට ද අපි සමත් වීමු. අපේ කියවීම ඒ තරම් ම වේගවත් විය.


ආච්චි අපේ නිවසින් ආපසු යන කාලය වන විට ඒ පොත් පෙට්ටිය ම කියවා හමාර කරන්නට අපි සමත්වීමු.

(අපේ ළමා විය සුන්දරත්වයෙන් පිරවූ එවැනි ආච්චිලා අද අපේ දරුවන්ට නැතිවීම කොයි තරම් කණගාටුවක් ද?)


හයේ පන්තියේදී මට හේමචන්ද්‍ර හෝ චන්ද්‍රපාල හෝ නමින් යහලුවෙක් සිටියේ ය. පාසල ඇරී තලපත්පිටියේ සිට මිරිහානේ මොරගහ පටුමගේ (දැන් බෝධිය පාර) ගෙදරට පයින් එන ගමනේ දී ඔහු ආවේ මා සමග ය. ඉගෙනගන්නට ඒ හැටි දක්ෂතාවක් නොපෙන් වූ නමුත් ඔහු පොත් කියවන්නට පුරුදුව සිටියේ ය. අපේ පුංචි ආච්චි හැරෙන්නට මට ඩීමන් ආනන්ද ගේ පොත් වැඩියෙන් ම දුන්නේ ඔහු ය. ශත 75 ක් වූ ඩීමන් ආනන්ද ගේ පිටු හැත්තෑ දෙකේ පොත් මිලට ගන්නට ඔහු පුරුදුව සිටියේ ය. හතේ පන්තියේ දී තලපත්පිටියේ පාසලින් අස් වී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට යාමෙන් මගේ යහලුවා මට මගහැරී ගියේ ය. 


2007 වසරේ දිනෙක මරදානේ දයාවංශ ජයකොඩි ආයතනයේ දී දයාවංශ ජකොඩි මහතා සමග කතාබහක නියැලී සිටිය දී තවත් අමුත්තෙක් ඒ කාමරයට ඇතුල් විය. ඒ කරුණාරත්න ඩී ෆිලිප් මහතා ය. ඒ දිනවල ඔහු මරදානේ ම තිබූ තවත් පුවත්පත් ආයතනයක කර්තෘ මණ්ඩල ප්‍රධානියා ව සිටියේ ය. ඒ කාලයේ බිරිඳ පුවත්පතත් ඈ සඟරාවත් මුද්‍රණය කළේ ඒ ආයතනයේ ය.

මා සමග සාකච්ඡාවක් කර ඈ සඟරාවේ පළකරන්නට කරුණාරත්න ඩී ෆිලිප් මහතාට අවශ්‍ය විය. අපි දෙදෙනා කතා බහ කරමින් මරදාන පාර දිගේ ඔහුගේ පුවත්පත් කාර්යාලයට ගමන් කළෙමු. සාකච්ඡාව බාර වූයේ ඈ සඟරාවේ තරුණ සංස්කාරකවරයා වූ ධනුජය සේනානායකට ය. (අකාලයේ අභාවප්‍රාප්ත වූ ඒ තරුණ සංස්කාරකවරයා පිළිබඳ මතකය ද නොමැකී මගේ සිතේ ඇත) අපේ සාකච්ඡාවේදී තැනෙකදී මම “අපි කියවන්නට පටන්ගත්තේ ඩීමන් ආනන්ද මහත්තයගේ පොත් කියවලා තමයි” යි කීවෙමි.


සාකච්ඡාව අවසානයේදී ෆිලිප් මහතා අපූරු ඉල්ලීමක් කළේ ය.


“අනේ එදිරිසිංහ මහත්තයා අර කතාව ඩීමන් ආනන්ද මහත්තයටම කියන්න බැරිද? එයා අසනීපෙන් ඉන්නෙ.. මේ කතාව ඇහුවොත් එයා හරිම සන්තෝස වෙයි”


ඔහු අංක කරකවා ඩීමන් ආනන්ද මහතා සම්බන්ධ කරගත්තේ ය. ආනන්ද මහතාත් මමත් විනාඩි පහළොවක් පමණ කතා කළෙමු. ඔහුගේ කතා කියවා පොත් කියැවීමේ රුවිකත්වය වර්ධනය කරගත් හැටි මා කියන විට ආනන්ද මහතා මහත් සතුටට පත් විය.

“රට රටවල ඉන්න දොස්තරවරු ඉංජිනේරුවරු කොයි තරම් මට ඔය කතාව කියලා තියෙනවද? ඒ අහන අහන වාරයක් වාරයක් පාසා මට හරිම සතුටක් දැනෙනවා මං මේ ලෝකෙට මොනා හරි හොඳ දෙයක් කරලා තියෙනවා කියලා” ඔහු සතුටින් කීවේ ය.


සැබෑ නම ඩිලී වීරකෝන් වූ ඔහු පොත් ලිව්වේ ඩීමන් ආනන්ද යන නමිනි. ඔහු ඉපැදුණේ 1933 වසරේ දී ය. ඩීමන් ආනන්ද මහතා ලියූ පොත් සංඛ්‍යාව දහස ඉක්මවන බව කියැවෙයි. බටහිර නවකතාවේ රහස් පරීක්ෂකයා ජේම්ස් බොන්ඩ් ඔහුගේ කතා වල ජේමිස් බණ්ඩා විය. එයින් නොනැවතී තමාගේ ම රහස් පරීක්ෂකයකු ඔහු බිහි කරගත්තේ ය. තමාගේ නමට අනුව ම යමින් ඒ රහස් පරීක්ෂකයා ඩිකී වීරකෝන් ලෙස නම් කළේ ය. විදග්ධ සාහිත්‍යකාරයන් ගේ අපමණ මදි පුංචි කම් වලට, කෙණෙහිළි කම් වලට, ඔහු මුහුණ දුන්නේ ය. ඔහු ප්‍රධාන සාහිත්‍ය ප්‍රවාහයට අයත් නැති චුල සාහිත්‍යකාරයකු ලෙස හංවඩු ගැසුණි. (අද කියාත් ඒ හැසිරීමේ වෙනසක් නැත. අදත් සාහිත්‍ය ලෝකයට කියවන්නන් කියවන්නියන් දහස් ගණනින් කැන්දාගෙන එන ලේඛකයන්ට ලේඛිකාවන්ට බෙදන්නේත් ඒ හැන්දෙන්ම ය. ඒ කුහකකම, ඉරිසියාව, දෝරේ ගලන, අපේ රටේ හැටි ය)


ඒ කාලයේ මම සන්නස පුවත්පතේ සංස්කාරකවරයාව සිටියෙමි. සන්නස වෙනුවෙන් සාකච්ඡාවක් දිය හැකිදැයි මම ඇසුවෙමි. ඔහු එකඟ විය. ඒ සාකච්ඡාව මට ම කරන්නට මට කාලයක් නොවීය. මම පසුදා ඔස්ටේ්‍රලියාවට එන්නට නියමිතව සිටියෙමි. එන්නට පෙර සන්නසට ලංකාවේ සිට ලිපි සම්පාදනය කළ ශ්‍රීලාල් සෙනෙවිරත්නට ඒ රාජකාරිය පවරා ආවෙමි. එහෙත් අපේ අවාසනාවට ඊළඟ සතියේ ඩීමන් ආනන්ද මහතා මෙළොව හැර ගියේ ය. 


නොසන්සිඳෙන ශෝකයක් ඔහු මගේ හදවතේ තබා ගොස් ඇති බව දැනෙණ වාර අපමණ ය.


(රසික සූරියාරච්චි සංස්කරණය කරන සිසිල සඟරාවට ලියූ ලිපියකි)

Friday, June 4, 2021

අමතක නොවන චරිත දෙකක්

 ඒ වසර 1971 යයි සිතමි. කුඩා පාසල් දරුවන් වූ අප ගෙදර යන්නේ මිරිහානේ බෝධිය පාර දිගේ ය. ඒ කාලයේ මේ පාරේ නම මොරගහ පටුමග නම් විය. මේ පාරේ මඳක් දුර එන විට වංගුවකදී ශාලාව පාර හමුවෙයි. ඒ වංගුව පසුකර වමට ඇති ඊළඟ වංගුව පසු කළ විට වම් පැත්තේ අලුතින් දැමූ තවත් කුඩා පාරක් හමුවෙයි.


මේ කුඩා පාරේ වම් පැත්තේ අලුත තැනූ එකවාගේ නිවාස දෙකක් විය. මේ කියන දවසේ අප පාසල ඇරී නිවසට ඇවිද එන විට ඒ එක ගෙයක් ගිනි ගනිමින් තිබුණි. ඒ ගෙය ගිනි තබා තිබුණේ පොලිසියෙනි.


ඒ ගෙදර පදිංචිව සිටි තරුණයන් දෙදෙනා චේ ගුවේරා කාරයන් යයි අපට කවුරුන් හෝ කියා තිබුණි. මේ ප‍්‍රසන්න තරුණයන් දෙදෙනා නමින් වික්ටර් බණ්ඩාර සේනාරත්න සහ දේව බණ්ඩාර සේනාරත්න නම් වූහ. (සිසිල් බණ්ඩාර සේනාරත්න නම් තවත් සොහොයුරකු සිටි බව මගේ මතකය කියයි. එහෙත් අප දැන සිටියේ වික්ටර් සහ දේව බණ්ඩාර පමණකි)
71 කැරැුල්ලට මේ තරුණයන් දෙදෙනාම අත්අඩංගුවට පත්වූ බව අපි අසා ඇත්තෙමු. එයින් කලකට පසු නිදහස ලබා එන ඔවුහු අපේ පියා හා බොහෝ කුළුපග වූහ. එයින් වික්ටර් කෙළින්ම දේශපාලනය සම්බන්ධ වූ බවක් මට මතක නැත. නමුත් දේව බණ්ඩාර 77 මැතිවරණයේද’ අපේ පළාතෙන් ස්වාධීනව ඡන්දය ඉල්ලුවේ ය. ව්‍යාපාරිකයකු වූ අපේ තාත්තා ඔහුට මුදලින් ආධාර කළ බව මම දැන සිටියෙමි. සමහර සැන්දෑ කාල වලදී ඔහු අපේ තාත්තා සමග කතා කරමින් සිටි ආකාරය මට තවම මතක ය.


ඒ දේව බණ්ඩාර පසුව විජය කුමාරණතුංගයන් සමග මහජන පක්ෂය පිහිටුවාගත් අතර දේශපාලන රැස්වීමකදී අවාසනාවන්ත ලෙස වෙඩි වැදී මිය ගියේ ය. වෙඩි තැබුවේ ජවිපෙ යයි කියැවේ. (පින්තූරයේ විජය සමග සිටින්නේ දේව බණ්ඩාරයි)

වික්ටර් බණ්ඩාර සේනාරත්න වෙල්ලස්සේ වෙඩි හඬ නම් වූ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කර එය රට වටා ගෙන ගියේ ය. මෑත කාලයේ ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අපට දැනගන්නට නොලැබුණි.

අද මේ සටහන ලිව්වේ ඒ වික්ටර් බණ්ඩාර සේනාරත්න සිය දිවිසැරිය නිමා කළ බව දැනගත් නිසා ය.

අපේ ළමා වියේ අපෙ ආදරය කළ මේ ප‍්‍රසන්න තරුණයන් දෙදෙනා ගැන මතකය අපේ සිත් තුළ සදා පවතිනු ඇත. සිය තාරුණ්‍යය තමා ඇදහූ දේශපානය වෙනුවෙන්ම කැප කළ, දේශපාලනයෙන් හරිහම්බකර නොගත් මේ අවංක තරුණයන් වැනි දේශපානඥයන් අද දකින්නට නොලැබීම රටේ අවාසනාවකි.

Friday, May 21, 2021

මැයි මාසයේ ආ පත්තරයක කතාවක්


මැයි මාසය එළැඹෙනවිට මතක පොත පුරා ලියැවෙන කතා රැසක් මගේ ජීවිතයේ ඇත.  ඕස්ටේ‍්‍රලියාවේ පහන සඟරාව පිළිබඳ මතකය එවැන්නකි.


ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලාංකික ප‍්‍රජා පුවත්පත් අතර සෙරෙන්ඩිබ් නිව්ස් ඉංග‍්‍රීසි පුවත්පතට හිමිවන්නේ සුවිශේෂ තැනකි. ප‍්‍රජා පුවත්පතක් නොමිලයේ ලබාදිය හැකිය යන සංකල්පය අපේ සමාජය හමුවේ තැබුවේ ඒ පුවත්පතයි. පුවත්පත බිහිවන්නේ මා මෙල්බනයට පා තබා වසරකට දෙකකට පසුව යයි සිතමි. මේ ඉංග‍්‍රීසි පුවත්පතේ සිංහල පිටුවක් පවත්වාගෙන යන්නට ද උත්සාහයක් ගෙන තිබුණි. ඒ සිංහල පිටුව සකස් කළේ කව්දැයි මා තවමත් දන්නේ නැත. මේ පිටුව කියැවූ වහාම මට ඇතිවූයේ බලවත් කණගාටුවකි. ඒ පිටුව පුරා තිබූ වැරදි අප‍්‍රමාණ විය. මා ඒ සියල්ල රතු පෑනකින් ලකුණු කර පුවත්පතේ තිබූ ලිපිනයට යැව්වේ සිංහල පිටුවක් කරනවා නම් එය නිවැරදිව කරන්න යයි ඉල්ලමිනි.


එයින් මාස කීපයකට පසු මට මගේ කන්ද උඩ මාළිගාව කෙටිකතා පොත සම්බන්ධ සම්මුඛ සාකච්ඡුාවකට  3zzz ගුවන්විදුලියෙන් ආරාධනයක් ලැබුණි. මගේ සාකච්ඡුාවට පෙර ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති කියවමින් සිටි නිවේදිකාව මැදිරියෙන් පිටව එන අතරතුර මට හඳුන්වා දුන්නේ ගීතිකා වීරකෝන් ලෙස ය. ඇය එවකට සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සංස්කාරිකාව වූවා ය. ඇය සමග ඇගේ සැමියා වූ විරෝෂ් පෙරේරා ද විය. 


”එදිරිසිංහ මහත්තයා හමුවෙන්නමයි හිටියෙ.. අපට එව්ව ලියුම ලැබුණා.. අපි ඒ අඩුපාඩු පිළිගන්නවා.. අපි කැමතියි මේ සිංහල පිටු වල වගකීම ඔබටම පවරන්න. අපේ පත්තරේ සිංහල පිටු අපට සංස්කරණය කරලා දෙන්න” ඔවුහු ඉල්ලා සිටිය හ. මම කැමතිවීමි. එතැන්සිට අවුරුදු දෙකක පමණ කාලයක් මම සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල පිටු සංස්කරණය කළෙමි. සිංහල පිටු ප‍්‍රමාණය පිටු හයක් දක්වා වැඩි කරන්නටද මට හැකි විය. ඒ පිටු ලේඅවුට් කරන ලද්දේ ද මවිසින්ම ය. ”ඔස්ටේ‍්‍රලියාවෙ පත්තරවලට පේජ් ලේඅවුට් කියන එක අඳුන්නලා දුන්නෙත් ජගත්” වරක් මා මිත‍්‍ර මාධ්‍යවේදී චරිත දිසානායක උත්සවයක කතාවක් පවත්වමින් කියූ සැටි මට මතක ය. 


වරුණ සාවින්ද සොයුරා මා හා මිත‍්‍ර වන්නේ මේ වකවානුවේ ය. අප පළමුව හමුවන්නේ ඔහු මා සමග සම්මුඛ සාකච්ඡුාවක් පටිගත කරගැනීමට හයිඞ්ල්බර්ග් හි පිහිටි මගේ නිවසට ආ දිනයේ දීය. එදා සෙව්වන්දිකා ද විය. වැඩ සටහන ”සෞන්දර්ය චාරිකා” නම් විය. අපේ මිත‍්‍රත්වය දියුණුවත්ම තනි සිංහල පුවත්පතක් බිහිකිරීමේ අවශ්‍යතාව පිළිබඳව කතාව අප අතර ඇති විය. වරුණ මේ කාර්යයේදී සිය හිතවතුන් රැුසකගේද සහයෝගය අපට ලබාගත්තේ ය. අසෝක සිල්වා, නුවන් සමරපති, ප‍්‍රසන්න කුරුකුලරත්ත, ජගත් මුණසිංහ, ජගත් කොතලාවල වැනි නම් රැසක් මගේ මතකයට එයි. අතපසු වූ නම් ඇත්නම් සමාවන්න.


”ජගත් මල්ලි. ඔයාගෙ ටැලන්ට්ස් අපතේ යවමින් ඉන්න එක අපරාදයක්.. ඔයා සිංහල පත්තරයක් පටන්ගන්න.. මං සල්ලි දාන්නම්” බන්දු දිසානායක මහතා මට කීවේද මේ අවදියේදී ය. අප ම මුදල් එකතු කර පුවත්පතක් පටන්ගත යුතුය යන මතයේ වරුණත් මාත් සිටි බැවින් මම බන්දු අයියාට වචනයක් නොදුන්නෙමි.


අපේ පුවත්පතේ වැඩ කටයුතු සංවිධානය ඉක්මණ් ගමනින් ඉදිරියට ගියේ ය. වරුණ ”පහන” යන නම යෝජනා කළේ ය. අපි කැමතිවීමු. සම සංස්කාරකවරුන් ලෙස වරුණත් මමත් පහන ආරම්භ කළෙමු. අපේ හිතවත්තු හැකි පමණින් ආධාර කළ හ. අසෝක සිල්වා ඒ අතරින් ඉදිරියෙන් ම සිටියේ ය. 


2003 මැයි මාසයේදී අපි පහන මංගල කළාපය නිකුත් කළෙමු. ඒ වෙනුවෙන් ඩැන්ඩිනොන් ආර්ට් සෙන්ටර් හිදී පැවති උත්සවයට මෙල්බනයේ සමාජ කටයුතුවල ඉදිරියෙන් සිටි බොහෝ පිරිසක් සහභාගි වූහ. ඒ වෙනුවෙන් වරුණ ලියූ කළිඳු වීරසිංහ සොයුරා ගේ තනුවෙන් අලංකාර වූ කළ ගීයක් නිර්මාණය කෙරුණි. සෙව්වන්දිකා අබේරත්න, නෙලූම් ලියනගේ, අතුල රංජන හා ජගත් මුණසිංහ ගායනා කළහ. කළිඳු වීරසිංහගේ සංගීතයට විහඟ විජේසේකර තබ්ලාවෙනුත් මම ගිටාරයෙනුත් එක්වීමු. උදුම්බරා සහ රංගන නර්තනයෙන් උත්සවය රසවත් කළ හ. 


ඒ අවස්ථාව ඉතිහාසගත කරමින් ප‍්‍රසන්න කුරුකුලරත්න තැනූ වීඩියෝව මේ සමග වෙයි. 


පහන ඔස්ටේ‍්‍රලියාව පුරා අතිශය ජනප‍්‍රිය පුවත්පතක් බවට පත්විය. ලේඛක ලේඛිකාවන් රැුසක් පහන ඔස්සේ බිහිවුණි. අපි බොහෝ වෙහෙස වී පහන ඒ තත්වයට ගෙන ආවෙමු. ඒ ගමන අපූරු ය.


ඒ සියල්ල නැවත ස්මරණය කරමින් සතුටුවන්නට අද මට හැකි ය. 






Monday, May 17, 2021

සඟරාවක මතකයක්

 









පසුගියදාක ලංකාවේ සිටින මිතුරියක් මැසෙන්ජර් පනිවුඩයකින් පින්තූර කීපයක් එවා තිබුණා. ඈ එවූ පින්තූර කීපය පහතින් මුළින්ම තියෙනවා.

ඒ සමගම ඇය ප‍්‍රශ්නයක් අසා තිබුණා. ”මේ ගැන ඔබේ මතකය කොහොමද? 1977.7.7”

මේ පින්තූර මා පුදුමයට පත්කළා. 

”මම ඊ්යෙ යාලූවෙකුගෙ ගෙදර ගියා. ඒ යාලූවා ළඟ මේ සඟරාව තිබුණා” මගේ මිතුරිය ලියා එව්වා. 


මා පාසල් වියේ සංස්කරණය කළ සඟරාවක් අවුරුදු 34කට පසුව ලංකාවේ කිසිවකු අත තවමත් තිබෙනවාය කියන පුවත මගේ සිතේ ඇති කළේ වචනයෙන් කියන්න බැරි සතුටක්.


”මුතුහර” කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රලයයේ සිසුවකුව සිටියදි මම සංස්කරණය කළ සඟරාව. ඒකට පසුබිම් කතාවක් තියෙනවා. 


අපි හිටියෙ විද්‍යා අංශයෙ. ඒත් ඔලූවෙ තිබුණෙම සාහිත්‍යය. කලා අංශයේ ශිෂ්‍යයන් බලය තියාගත්ත සිංහල සාහිත්‍ය සංගමයක් තිබුණා. ඒකෙන් කළ කිසිම වැඩක් නැහැ. මට එදා ඉඳලම තිබුණෙ සාහිත්‍ය වැඩ කිරීමේ පිස්සුවක්. ඒ පිස්සුව හොඳ කරගන්න මං තෝරගත්තෙ විද්‍යා ශිෂ්‍ය සංගමය. ”මුතුහර” සඟරාව මම සංස්කරණය කළේ විද්‍යා ශිෂ්‍ය සංගමය වෙනුවෙන්. මුතුහර කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයීය ඉතිහාසයේ බිහිවුණ දෙවන මුද්‍රිත සඟරාව. (එයිට කලින් විද්වාන් නමින් සඟරාවක් මුද්‍රණය වෙලා තිබුණා* මුතුහරේදි මං උත්සාහ කළේ කාටත් එකසේ රස විඳිය හැකි සඟරාවක් බිහිකිරීම.




මේ සඟරාව සඳහා වෙළඳ දැන්වීම් හොයන්න මගේ මිත‍්‍රයා උදය ලක්ෂ්මන් සහ මං වින්ද දුක හරිම රසවත් මතකයක්. සඟරාව සඳහා වෙළඳදැන්වීම් දිමෙන් අනුග‍්‍රහය දක්වන ලෙස එවකට වෙළඳ ඇමති ටී බී ඉලංගරත්න මහතාම සිය අත්සන සහිතව නිකුත් කළ ලිපියක් අප ළඟ තිබුණා. වෙළඳ දැන්වීම් විශාල ප‍්‍රමාණයක් ලැබුණා. සඟරාව ලාබයකුත් ලැබුවා.


මුද්‍රණය කළේ නාවල තිබුණ ශ‍්‍රී කාන්ති කියන පුංචි මුද්‍රණාලයේ. ඔවුන් ඉතා අලංකාර ලෙස වැඬේ කළා. මම හැම පිටුවක්ම එකිනෙකට වෙනස් ආකාරයට ලේ අවුට් කරන්න උත්සාහ කළා. ඒත් මට අවශ්‍යම තැනේදි වැඬේ වැරදුණා. තුන්වෙනි පිටුව. තුන්වෙනි පිටුව තමයි මට සඟරාවෙ වැදගත්ම පිටුව. ඒ පිටුව මුද්‍රණය කරන්න සූදානම් වෙච්ච දවසෙ මම නාවලට එමින් සිටියදී අතරමගදි අපේ පන්තියේ හිටිය යාලූවෙක් නුගේගොඩදි හමුවුණා. 

”දැන් යන්න  ඕනෙ නෑ මචං.. මං පෘෆ් කියවලා ඇපෲව් කරළා ආවෙ” ඔහු කිව්වා. මට තරු විසිවුණා.

”මොන පිටුද ඇපෲව් කළේ?”

”තුන්වෙනි පිටුව” ඔහු කිව්වා. ඒ වෙලාවෙ මට දැනිච්ච දුක අදත් මට දැනෙනවා. මේ තියෙන්නෙ මගේ මිත‍්‍රයාගේ අවශ්‍යතාව අනුව මුද්‍රණය වෙච්ච තුන්වෙනි පිටුව. මේ මට අවශ්‍ය වුණ ආකාරයේ තුන්වෙනි පිටුව නම් නෙවෙයි. 


සඟරාවට අමතරව පාසලේ විද්‍යා ශිෂ්‍ය සංගමය හරහා අපි සාහිත්‍ය තරගාවලියක් තිබ්බා. කවි කෙටිකතා සහ රචනා අංශ වලින්. ඒ තමයි මං සංවිධානය කළ පළමු තරගය. ඉන්පස්සෙ මං සාහිත්‍ය තරග හතරක් කරලා තියෙනවා.

පහන සඟරාව මගින් කළ සාහිත්‍ය තරගය

සන්නස සඟරාව මගින් කළ සාහිත්‍ය තරගය

ඞීබී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගය 2018

ඞීබී කුරුප්පු අනුස්මරණ කෙටකතා තරගය 2020


පුලූවන් වුණොත් තව ඉස්සරහටත් සාහිත්‍යය වෙනුවෙන් යමක් කරනවා. ඒ උණ තාම තියෙනවා.


මුතුහර කාලෙ වෙච්ච ඇබැද්දියක් මගේ මානව බ්ලොග් එකේ ලිව්වා. කැමති නම් කියවලා බලන්න.

Friday, February 12, 2021

ගීයක් ගැන කතාවක්..


අපි පුංචි කාලෙ ඉඳන් හැදුණෙ කලාත්මක දේ බහුලව තිබූ පරිසරයක. සංගීතය, චිත‍්‍ර ශිල්පය, ලේඛණය, නාට්‍යය අපේ ළමා ජීවිතයෙ හැම පැත්තෙම තිබුණා.

සෝවියට් දේශයේ ලූමුම්බා මිත‍්‍රත්ව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබපු අයියා එහේ ”ලංකා” කියන සංගීත කණ්ඩායමේ ගිටාර් වාදනය කළා. ඔහු නිවාඩුවකට ලංකාවට එද්දි බොක්ස් ගිටාරයක් අරගෙන ආවා. මේ බොක්ස් ගිටාරයට මං හරියට ආදරය කළා.

අයියා ආපහු ගියේ බේසික් කෝඞ්ස් ඔක්කොම වගේ අපට පුරුදු කරලා. අපි පුලූ පුලූවන් හැටියට ඒ ගිටාරය වාදනය කරන්න පුරුදු වුණා. අපේ ඉස්කෝලෙ (කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ) හිටපු අපේ යාලූවෙක් අපට හුඟක් උදව් කළා. යාලූ මිත‍්‍ර කමට අපි ඔහුට කිව්වෙ ”ලවර්” කියල. පස්සෙ ඔහු යුද හමුදාවෙ බටහිර වාදක කණ්ඩායමට එක්වුණා. අපි අපේ නුගේගොඩ මහගෙදර මිදුලෙ පුටු තියාගෙන හවසට හවසට ගිටාර වයමින් සින්දු කිව්වා. මල්ලි ගිටාරය වැයුවෙ නැතුවට ඔහුට හොඳට ගායනා කරන්න පුලූවන්. අපේ යාලූවා ටෙ‍්‍රවෝ ෆෝක්ස්, ඩ‍්‍රම්ස් ගහන්න පුරුදු වුණා.

ඉතින් අපි අපි නුගේගොඩ ”සමර් නයිට්ස්” කියල සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. නුගේගොඩ දැන් නිරෝමි එක තියෙන තැන ජුබිලි කණුවට සහ කෝට්ටෙට පාර බෙදෙන හන්දියේ අපේ ගෙදරට හැරෙන තැන තිබුණ උස පුලුන් ගහේ බෝඩ් එකකුත් ගැහුවා.. ඒකත් මමමයි ඇන්දෙ.. අපට කියලා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ තිබුණෙ නැහැ. අපි බම්බලපිටියෙ ඒවා කුළියට දෙන තැනකින් කුළියට ගත්තා. පුහුණු වුණෙත් එතැනමයි.

මේ කාලෙ අපි ක්ලැරන්ස් විජේවර්ධනට වහ වැටිල හිටියෙ. මං පොඩි කාලෙ ඉඳන් වරින් වර ගීත හදා තිබුණත් ගිටාරය අතට ආවට පස්සෙ ක්ලැරන්ගෙ ආකෘතියෙ ගීතයක් හදන්න මට අවශ්‍ය වුණා. ”සුදු තාරකා” ගීතය මම ලියලා මම ම තනුව දැම්මෙ ගිටාරය අතට ආවට පස්සෙ. ක්ලැරන්ස්ගෙ ආරයේ ගීයක් හදන්න තිබ්බ ඕනෙ කමට.

ගීතය හැදුවට ඒක කාලාන්තරයක් තිස්සෙ මම ගයමින් හිටියත් ඒක පටිගත කළේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණාටත් පස්සෙ.

මේ සරළ ගීතයට මං කැමතියි. මගේ ගැටවර වියේදි ගිටාරයෙන් මා කළ පළමු ගීත නිර්මාණය නිසා.



Saturday, December 12, 2020

ගවුනකල්පය

ගවුනකල්පය? මොකක්ද ඒ? ඒ ගැන කියන්නට පෙර මේ අතුරු කතා කියා නිම කරන්නට සිදුවෙයි.


අපේ ළමා විය ගෙවුණේ දැනුම සොයා ගැනීම වෙනුවෙන් කළ මහා කැපවීමක් සමග ය. අන්තර්ජාලය කියා දෙයක් ඒ යුගයේ නොවී ය. අවම වශයෙන් රූපවාණිය හෝ නොවී ය. 


දැනුම උදෙසා ම කියැවූ පොත පත අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව ඇමරිකානු ප‍්‍රකාශන ආයතනයක් සමග එක්ව මුද්‍රණය කර තිබූ ”විද්‍යාව” නම් විශාල පොත, රුසියානු ලේඛක වයි පෙරල්මන්ගේ ගණිත විනෝදය, නවයුගය පුවත්පත වැනි ප‍්‍රකාශන මගේ මතකයට එයි. 



මේ පොත පත අතරේ අපට දැනුම ලබාදුන් සුවිශේෂී සඟරා ගණනාවක් තානාපති කාර්යාල මගින් මුද්‍රණය කොට බෙදා හැරුණි. සීතල යුද්ධයේ ඉහළ ම අවධියක සිටි ලෝකයේ බලවත් රටවල් තරගයට මෙන් මුද්‍රණය කර බෙදාහැරි මේ සඟරා වලින් ඒ ඒ රටවල රටවල ජන ජීවිතය, භූගෝලීය සාධක, විද්‍යාත්මක සොයාගැනීම් ආදී විවිධ කරුණු කාරණා කියවන්නට අපට හැකි විය. සෝවියට් තානාපති කාර්යාලයේ ”සෝවියට් දේශය” ඇමරිකන් තානාපති කාර්යාලය සහ බටහිර ජර්මන් තානාපති කාර්යාලය  මගින් මුද්‍රණය කර බෙදා හැරි සඟරා (නම් මතක නැත) වියට්නාම් තානාපති කාර්යාලයෙන් බෙදාහැරුණ වියට්නාම් ඉංග‍්‍රීසි සඟරාව ආදිය මගේ මතකයට එයි. වියට්නාම් යුද්ධය ද පැවති මේ කාලයේ වියට්නාම් සඟරාවේ තිබූ රූමත් වියට්නාම් කෙල්ලන් ගේ පින්තූර මගේ විත‍්‍රපොතේ ඇන්ද හැටි ද මතක ය. (මේ කාලයේ මම මගේ මාමාගෙන් චිත‍්‍ර ඇඳීම ඉගෙන ගනිමින් සිටියෙමි)


මේ අතුරු කතා ලිව්වේ කියන්නට ආ කතාවට ප‍්‍රවිශ්ටයක් ලෙස ය.


වෛද්‍ය විද්‍යාවේදී නව බෙහෙතක් සොයා ගන්නා විට ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක වේදැයි සොයා බලන්නට මිනිස් සාම්පල වලට ලබාදීම සම්මත ක‍්‍රමයයි. ස්වකැමැත්තෙන් මේ සඳහා ඉදිරිපත්වන්නන් කාණ්ඩ දෙකකට බෙදා එක් කණ්ඩායමකට නියම බෙහෙතත් අනෙක් කණ්ඩායමට ඒ බෙහෙතේ ආකාරයට ම නිර්මාණය කළ ව්‍යාජයක් ලබා දෙනු ලබන අතර කාණ්ඩ දෙකෙහි අය බෙහෙතට දක්වන ප‍්‍රතික‍්‍රියා නිරීක්ෂණය කෙරෙයි. ඇත්ත බෙහෙත බොන අය සේ ම සමහර විට ව්‍යාජ බෙහෙත් බොන සමහර අය ද සුව වනු දකින්නට ලැබීම ද පුදුමක් නොවී ය. බෙහෙත කෙරෙහි ඇති මානසික විශ්වාසය එයට හේතුවන්නට ඇතැයි කියැවෙයි. මෙය ප්ලැසිබෝ ඉෆෙක්ට් placebo effect නමින් හැඳින්වෙයි.


බෙහෙතක් ලෙස පෙනී සිටින ව්‍යාජය හැඳින්වෙන්නේ placebo යන ඉංග‍්‍රීසි වදනින් ය. 


ප්ලැසිබෝ ගැනත් ප්ලැසිබෝ ඉෆෙක්ට් ගැනත් ඒ කාලයේ මට කියා දුන්නේ ඉහළ පන්තියක සිටි මගේ අයියා කුමාර් ය.


ප්ලැසිබෝව විකිපීඩියාවේ අර්ථ දැක්වෙන්නේ මෙසේ ය.

A placebo (/pləˈsiːboʊ/ plə-SEE-boh) is a substance or treatment which is designed to have no therapeutic value. Common placebos include inert tablets (like sugar pills), inert injections (like saline), sham surgery, and other procedures.


Placebo වෙනුවෙන් භාවිතා වන සිංහල වදනක් මට සොයා ගන්නට නොලැබුණි. එහෙත් 70 දශකයේදී බටහිර ජර්මානු තානාපති කාර්යාලයෙන් බෙදාහැරුණ සිංහල සඟරාවක placebo යන ඉංග‍්‍රීසි වචනය වෙනුවෙන් අපූරු සිංහල වදනක් යොදා ගෙන තිබුණයුර මට තවමත් මතක ය. ”ගවුනකල්පය” ඒ වදනයි. 


මොන යම් හේතුවක් නිසා හෝ placebo වෙනුවට සාදාගත් ගවුනකල්පය වචනය එතැනින් ඔබ්බට භාවියට නොආ බව පමණක් මම නිරීක්ෂණය කළෙමි.


කෝවිඞ් එන්නතක් හදන්නට ලෝකය ම වෙහෙසෙන මේ කාලයේ placebo වදන නිතර ඇසෙන විට මගේ සිහියට ආ ගවුනකල්පය වචනය ඔබට සිහිපත් කරදෙන්නට සිතුවෙමි. ඒ වචනය හොඳ නිසා නොවේ. මෙහෙම දෙයකුත් සිදුවුණා නේදැයි ඔබට සිහිපත් කර දෙන්නට ය.


Tuesday, November 24, 2020

මගේ තනු නිර්මාණ... ඒ කතාව

මගේ තනු නිර්මාණ ගැන ෆේස්බුක් එකේ ලියූ සටහන ගැන වැඩි අවධානයක් යොමුවී ඇති බව පෙනුණා. බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් ද කළා.. ඒ ගැන වැඩිදුරට යමක් ලියන්න හිතුවෙ ඒකයි. මේවා කෙනෙකුට වැදගැම්මක් නැති පුරසාරම් කතා වෙන්න පුලූවන්. ඒ නිසා කැමතිනම් පමණක් කියවන්න.


ෆේස්බුක් සටහන මෙහෙමයි.


 මේ වෙනස් ම ආකාරයක වැඩකි. ගීතය ලිව්වේ වරුණ සාවින්ද යි. ඒ ලියූ ගීතය ඔහු මා අතට දුන්නේ අපූරු ඉල්ලීමක් ද සමගින් ය.

”මේකට නූර්ති ගීයක් වගේ තනුවක් දාලා දීපං”

නූර්ති ගීය මට හොඳින් හුරු පුරුදු ය. මා හැදී වැඩුණේ නූර්ති ගී උදේ හවා ඇසුණ පරිසරයක ය. 

මගේ අම්මා ගේ මාමා ටවර් හෝල් යුගයේ නූර්ති වේදිකාවට ගෙනා ඤූු ෙ– ඩබ්ලිව් ගුණතිලක ය. එතුමා වේදිකාව මත පෑ විස්මිත දර්ශන නිසා ම විස්මකර්ම ගුරුතුමා නමින් හැඳින්වීමක් ලබා ගත්තේ ය. 

ඔහු පිළිබඳ විස්තරය මෙතැනින් කියවන්න


අතීතයෙන් කතාවක් 1


එතුමන් ගේ පුතා මගේ අම්මා ගේ මස්සිනා මගේ මාමා වූ කලා භූෂණ ලයනල් ගුණතිලක අප කුඩා කාලයේ පදිංචිව සිටියේ නුගේගොඩ මිරිහානේ අපේ නිවස ආසන්නයේම ය. මේ නිවස උදේ හවා නූර්ති ගී ගැයුණ වැයුණ රසගුලාවක් විය. ලංකාවේ නන් දෙසින් ආ ශිල්පීන් වයද්දී ගයද්දී අපි වශී වී බලා සිටියෙමු. ලයනල් මාමා ටවර් හෝල් නාට්‍යයක් ශ‍්‍රී සංඝබෝධි නමින් බොරැුුල්ලේ වයිඑම්බීඒ ශාලාවේ වේදිකාගත කරද්දී අපි තිරය පිටුපසට වී මේ විස්කම් කෙරෙන ආකාරය දැක බලා ගන්නට වාසනාව ලැබුවෙමු.


ඉදින් එවන් මගෙන් වරුණ මේ ඉල්ලීම කළ විට එය මම සතුටින් බාරගත්තෙමි. මේ ඒ පදමාලාවට මා නිමැවූ තනුවයි.  සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් ය. එතුමන් මේ තනුවට යම් පැසසුමක් කළ බව ද සෙව්වන්දිකා මට වරක් කීවා ය. සතුටකි.. 

ඉදින් අසා බලමු..


මේ සටහනට දැමූ වරුණ සාවින්ද ගේ කොමෙන්ට් එක මෙහෙමයි..


Waruna Savinda


"ජගත් උබ සගවගෙන ඉන්න තවත් කුසලතාවයක් තමයි මේ සංගීතය පිලිබද උබට තියෙන හැකියාව. උබ මගේ පද රචනයට අවැසිම තනුව රචනය කලා. උබ ඒ අපුරු තනුවෙන් මා ලියූ ගීතයට පණ දුන්නා.

උබ උබේම සංගීතයෙන් රසවත් කල උබම ලියපු සිංදු කීපයක්ම තියෙනවා. ඒවාත් ඉතාම රසවත් මචං.


චන්ද‍්‍රකාන්ති දී සවුම්‍ය ආලොකේ වැටේවි. 

නිදි නැති යහන සොය සොයා

කවුළු දොරින් ඒවි බේරි.

ශෘංගාර රසය හෘදේ වැඬේවි.



සිසිලස කොහෙද මා ප‍්‍රියේ

නිදි නැති පාලූ යාහනතේ

හද දුක වාවගනු කෙසේ

තනිවම මේ සදළුතලේ

සුන්දරතාවයමයි..

තීවුර කරන්නේ සංවේගේ..



වාසල් දොරටු හැර තියේ

මුරකාවල්ද නෑ ප‍්‍රියේ

නුවරුන් නිදයි රාත‍්‍රියේ

දැල්වෙයි පහන් වීදියේ

ආලය අන්ධයි.. ඒකයි

මග බලමින් ලතවෙන්නේ..


නැවතත් ස්තුතියි ඒ මනරම් තනුවට."


තරුණ කාලයේ නුගේගොඩ පුංචි සංගීත කණ්ඩායමක රිදම් ගිටාරය වාදනය කළත් යන්තමින්  ඕගනයක් ගිටාරයක් වාදනය කරගන්න හැකි වුණත් මං සංගීතඥයකු නෙවෙයි. සංගීතඥයකු වන්නට අවශ්‍ය සතත අභ්‍යාසයේ නිරත වෙන්න මට කවදාවත් වෙලාවක් තිබුණෙ නැහැ. දැන් මේ වාදනය කරන්නෙ මගේ සතුට වෙනුවෙන් පමණයි. නමුත් මේ පිටිපස්සෙ කතාවක් තියෙනවා.


මගේ ජීවිතයට තදින් බලපාපු මාමාවරු තිදෙනෙක් ඉන්නවා.

මගේ අම්මා ගේ අයියා - ස්ටීවන් ගූණතිලක මාමා - ඔහු දක්ෂ චිත‍්‍රශිල්පියෙක්. ඔහු සම්බන්ධව සිටියේ සිනමා කලා අධ්‍යක්ෂණයට. කේ ඒ ඩබ්ලිව් පෙරේරා එල් එම් පෙරේරා වැනි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සියලූම චිත‍්‍රපටවල වගේ කලා අධ්‍යක්ෂණය කළේ මගේ මාමා. ඔහු තමයි චිත‍්‍ර ශිල්පයේ අයන්න ආයන්න ඉගැන්නුවෙ. ඒ කතාව වෙනම ලියන්නම්.


මගේ තාත්තා ගේ ඥාති සහෝදරයකු වූ ලයනල් සරත් එදිරිසිංහ මාමා - ඔහු දක්ෂ ලේඛකයෙක්. ලංකාවේ පළමු විකල්ප පුවත්පත ලෙස මං විශ්වාස කරන ”බජරි හටන” ගැහුවෙ ඔහු. ඔහු පොත් ගණනාවක් ලියා තිබෙනවා. ලේඛකයකු ලෙස ඉදිරියට යන්නට ලොකු උත්තේජනයක් වුණේ ඔහු.


මගේ අම්මාගේ මස්සිනා - ලයනල් ගුණතිලක මාමා - ඔහු ගැන මගේ ෆේස්බුක් සටහනේ ලියලා තියෙනවා. ඔහු ඇසුරේ තමයි අපි සංගීතයට ළං වෙන්නෙ. 


මට ඒ කාලෙ ලොකුම ආසාව තිබ්බෙ තබ්ලා වාදකයකු වන්න. ඒ ගැන මා ලියූ බ්ලොග් සටහන මෙතැනින් කියවන්න.


තබ්ලාවාදකයෙක් වන්නට පෙරුම් පිරුවෙමි


රුසියාවෙ ඉංජිනේරු අධ්‍යාපනය ලබමින් හිටිය මගේ අයියා එහේ ලංකා නමින් වූ බටහිර සංගීත කණ්ඩායමට එක්වෙනවා බේස් ගිටාර් වාදකයකු ලෙස. නිවාඩුවකට ලංකාවට එනවිට අයියා ගිටාරයක් අරගෙන එනවා. අපි ඒ ගිටාරයට වශී වෙනවා. අයියා නැවත ගියාට පසුව අපේ යහලූවකු වෙතින් අපි ගිටාරය වාදනය කරන හැටි ඉගෙනගන්නවා. ඒ ගමනේ අවසානයෙදි අපි නුගේගොඩ ”සමර් නයිට්ස්” නමින් පුංචි කණ්ඩායමක් පිහිටුවා ගන්නවා. මං රිදම් ගිටාර් එක ගැහුවා. අපේ යහලූවෙක් වෙච්ච ටෙ‍්‍රවෝ ඩ‍්‍රම්ස් ගැහුවා. මංල්ලි සින්දු කිව්වා.


අපටමය කියලා සංගීත භාණ්ඩ තිබුණෙ නැහැ. අපි පුහුණු වුණේ බම්බලපිටියේ තිබුණ සංගීත භාණ්ඩ කුලියට දෙන තැනක. පැය ගානට සල්ලි ගෙවලා. අපි කාටවත් රස්සාවල් තිබුණෙ නැහැ. ඒ කාලෙ ඒ සල්ලි හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්.


මගේ උසස් අධ්‍යාපන කටයුතුත් ඉන්පසු රැකියාවත් නිසා මේ සියල්ල මගෙන් ඈත් වෙලා ගියා. ඒත් මගේ සතුටට ගෙදර බොක්ස් ගිටාරය වයමින් හිටියා. 


මුළින්ම ගීයක් ලියලා තනුවක් දැම්මෙ බොහොම පොඩි කාලෙ. අපේ තිබුණ ”ළමා කලා කවය” කියන පුචි සමිතියට. ඒ කාලෙ මං හිටියෙ අටේ නවය පංති වල කියලයි මං හිතන්නෙ.

”ළමා කලා කවයයි මේ

පොඩිත්තන්ගෙ වැඩ පෙන්වන

ළමා කලා කවයයි මේ”


සමර් නයිට්ස් කාලෙ මං ගීත කීපයක් ම ලියලා තනු නිර්මාණය කළා. ඒත් ඒවා කවදාවත් පටිගත කරන්න උනන්දුවක් හෝ දැනුමක් හෝ ඒ කාලෙ අපට තිබ්බෙ නැහැ.


”මතකේ රැුඳුනා - ඔබගේ රන් පිළිරූ”

”ආරාධනා”

”සුදු තාරකා - සේලෙන් එහා” මට මතක ගී තුනක්. 


ඒ කාලෙ අපි ක්ලැරන්ස් විජේවර්ධනට වහ වැටිල හිටියෙ. ඔහුගෙ ආරේ යමින් මම තනුව නිර්මාණය කළ සුදු තාරකා ගීතය අවුරුදු 15ක පමණ කාලයකට පසු තැටිගතවෙනවා. ඒ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණාට පස්සෙ ශ‍්‍රීපාලි එදිරිසිංහ ගේ සුදු තාරකා සංගත තැටිය වෙනුවෙන්. සංගීත සංයෝජනය මගේ ප‍්‍රිය මිත‍්‍ර විශාරද රෝහණ ධර්මකීර්තිගෙන්. ඒ ගීතය මෙතැනින් අහන්න. 


 සුදු තාරකා - ශ‍්‍රීපාලි එදිරිසිංහ 


මේ සංගත තැටියට ම ශ‍්‍රීපාලි ජානක වික‍්‍රමසිංහ සමග ගයන ”හම හමා ඇදෙන” ගීය ලියා තනු නිර්මාණය කළෙත් මම. ඒක මෙතැනින් අහන්න.


හම හමා ඇදෙන - ජානක වික‍්‍රමසිංහ  ශ‍්‍රීපාලි එදිරිසිංහ 


මම ලියා තනු නිර්මාණය කළ තවත් ගීයක් රොහාන් ශාන්ත බුලේගොඩ සමග ශී‍්‍රපාලි ගයනවා. මේ ගී දෙකේම සංගීත සංයෝජනයත් රෝහණගෙ මයි.


කඳුළු තොට ළඟ - රොහාන් ශාන්ත බුලේගොඩ ශ‍්‍රීපාලි එදිරිසිංහ


අසුන්තා කරුණාරත්න ඇගේ පළමු සංගත තැටියක් වෙනුවෙන් ගීයක් ඉල්ලා සිටියා. ”දසන්තය” ගීතය ලියලා තනුවක් දමා ඇයට දුන්නා. ”මේකෙ සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්තිට දෙන්න” මං ඇගෙන් ඉල්ලූවා. ඒ ඉල්ලීම අනුව රෝහණ මියුරු සංගීත සංයෝජනයක් කළා. මේක අතීත පේ‍්‍රමයක් ගැන කෙරෙන ස්මරණයක් පමණයි. ඇය කියනවා මං අඬලා ඉවරයි කියලා. තරුණ කාලයේ මගේ පළමු පේ‍්‍රමයෙන් ඉවත්වීමෙන් පසු මට දැනුණ සැනසීම පමණයි මේ තනුව නිර්මාණ කරද්දි මගේ හිතේ තිබුණෙ.


දසන්තය - අසුන්තා කරුණාරත්න


ශ‍්‍රීපාලි සමග මිහිඳු මාපා ගායනා කරන මේ ගීතයත් මගේ තනුවක් සහ පද රචනයක්. ”ඔබට හිමි නැති”. මේ ගීතයේ සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ මගේ මිත‍්‍ර ආනන්ද වන්නිනායක. සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්ති.


ඔබට හිමි නැති - ශ‍්‍රීපාලි  එදිරිසිංහ / මිහිඳු මාපා


මගේ තවත් තනුවක් සහ පදරචනයක්ග ”පිනි බිඳක් සැලූණා” මේ ගීතයේත් සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ මගේ මිත‍්‍ර ආනන්ද වන්නිනායක. සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්ති.


පිනි බිඳක් සැලූණා - ශ‍්‍රීපාලි  එදිරිසිංහ


මේ, මේ වෙලාවෙ මට හොයාගන්න පුලූවන් වුණ ගීත කීපයක් පමණයි. මං තනු නිර්මාණය කළ ගීත 20කට වැඩියි. ඒවා හොයා ගන්න පුලූවන් වුණ වෙලාවක මේ සටහන අගටම අමුණන්නම්. 





Thursday, November 5, 2020

අපේ කතාවක්....










මෙය ඓතිහාසික ඡුායාරූපයකි. තාත්තා ගේ කුලියාපිටියේ මහගෙදර ඇති මේ සේයාරුව මා අවසන් වරට දැක්කේ අවුරුදු අටක දහයක කුඩා දරුවකුව සිටියදී ය. මතක පොත අවුස්සමින් සිටි මම කුලියාපිටියේ ජීවත්වන මගේ පති මල්ලිට කරදර කර ඒ සේයාරුව සොයා ගතිමි. මගේ කලබලය නිසා මල්ලි මට එවූවේ මුල් සේයාරුවේ සේයාරුවකි. එහි ස්කෑන් පිටපතක් ඔහු එවූ විට මේ සේයාරුව යාවාත්කාලීන කරන්නට බලා සිටිමි. 


මෙය පළමු වතාවට කුලියාපිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක් පිහිටවූ දා එහි ආරම්භක සාමාජිකයන් පක්ෂයේ නායක එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක බණ්ඩාරනායක මහතා සමග ගත් සේයාරුව යයි යම්කිසිවකු මට කියාදුන්නේ එදා ය. සේයාරුවේ මැද එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහතා සිටින අතර දකුණු කෙළවරේ ජාතික ඇඳුමින් සිටින්නේ මගේ සීයා ෆ‍්‍රැන්සිස් පී ජේ එදිරිසිංහ යි. (අපේ නම් වල මැද ඇති "ජේ" අකුර අපේ පරම්පරාවෙන් එන එකක් මිස ලස්සනට දමාගත් එකක් නොවේ)


කුලියාපිටිය ඔරලෝසු කණුවේ සමරු ඵලකය
(සේයාරුව එවූ සමිත ජේ එදිරිසිංහ පුතාට ස්තුතියි)

සීයා වයස අවුරුදු 62 දී හෘදයාබාධයකින් මිය යන විට කුලියාපිටියේ උප නගරාධිපතිව සිටියේ ය. කුලියාපිටිය නගරය මැද ඇති ඔරලෝසු කණුවේ තවමත් ඔහුගේ නම සඳහන්ව ඇතැයි මම අසා ඇත්තෙමි.


සීයා ගේ ගම නුගේගොඩ වුවත් ඔහු ගම අතහැර කුලියාපිටියට යන්නේ හිතුවක්කාර විවාහයක් කරගත් නිසා ය. ඒ විවාහය වෙනුවෙන් ඔහු සිය පියාට අයත්ව නුගේගොඩ නගරය මැද පිහිටි විශාල ඉඩකඩම් යායක් අතහැර දැමුවේ ”මට උඹලගේ ඉඩකඩම්  ඕනෙ නැහැ”  කියා ය. (පේ‍්‍රමටය වඩා වැදගත් දෙයක් අපේ පරම්පරාවේ කිසිවෙකුට නොතිබුණ බව කල්පනාවෙන් බලන විට අදත් මට සිතෙයි. අපේ මහගෙදර ඇති නුගේගොඩ නගරය මැද පිහිටි ඉඩම තාත්තා ගේ නැන්දා කෙනෙකෙු ගේ අයිතියෙන් අපේ තාත්තාට ලැබුණ එකකි. සීයා ගේ පේ‍්‍රම කතාව මම වෙනත් ලිපියක ලියා ඇති බැවින් නැවත නොලියමි)


බණ්ඩාරනායක මහතා සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ අපේ සීයා ඒ පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කුලියාපිටියේ නගර සභාවට තරග කර එහි උප නගරාධිපති වීමෙන්  පමණක් සෑහීමට පත්ව සිටියේ ය.


”ඇයි සීයා පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළේ නැත්තෙ?” මම මෑතදී තාත්තාගෙන් ඇසුවෙමි.


”ඒ කාලෙ දැන් කාලෙ වගේ එහෙම පොරයක් තිබ්බෙ නෑ.. පප්පට එහෙම අවශ්‍යතාවක් වත් තිබ්බෙ නැහැ.. එයා සද්ද නැතුව එයාගෙ වැඩ ටික කරගෙන ගියා” තාත්තා කීවේ එහෙම ය.


එහෙව් මිනිසුන් හැදූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිසේන නම් වන ග‍්‍රාමසේවකයකු විසින් විනාශ කරන ලද ආකාරය  ගැන කණගාටුවක්ද වරෙක සිතේ ඇති වෙයි.


සිය පප්පා බරපතළ ශ‍්‍රීලංනිපාක්ෂිකයකු වන විට අපේ තාත්තා නැවතුනේ කොමියුනිස්ට් පක්ෂයේ ය. සිය තරුණ කාලයේ උද්යෝගිමත් කොමියුනිස්ට් පාක්ෂිකයකු වූ තාත්තා තමන් සාර්ථකව කරමින් සිටි බීඩි ව්‍යාපාරය ජනසතු කිරීමට අදාල වාර්තාව තමන්ගේ ම අතින් ලියා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ වික‍්‍රමසිංහට දුන්නේ ය. බීඩි ව්‍යාපාරය ජනසතුවීමත් සමගම තාත්තා ගේ ව්‍යාපාරයද නවතා දැමුණි. 

---------------------------------------

වැඩි විස්තර සඳහා මේ ලිපිත් කියවන්න...

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?

කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද? 2

----------------------------------------


වයසින් මුහුකුරායත්ම තාත්තා ඒ දේශපාලනයෙන් ඈත්වූයේ ය.


”දැඩි මර්දනයකින් තොරව කොමියුනිස්ට් පාලනයක් පවත්වාගෙන යන්න බැහැ” තාත්තා පසුකාලීනව කීවේ ය. ජීවිත කාලය ම කොමියුනිස්ට්වාදයට ආශක්තව සිටි මම ද දැන් වයසින් මුහුකුරා යමින් සිටිමි. මට ද දැන් සිතෙන්නේ තාත්තා ගේ අදහස නිවැරදි ය යන්න ය. විවිධාකාර අදහස් ඇති සංකීර්ණ මිනිස් සමාජයක් එක් රාමුවකට කොටු කර තබන්නට හැකි දේශපාලන ක‍්‍රමයක් තිබිය නොහැකි ය. අප මහන්සි විය යුත්තේ සාධාරණ සමාජයක් බිහිකර ගන්නට ය.


එනිසා අදත් මම නිර්පාක්ෂිකයකුව සැහැල්ලූවෙන් දිවි ගෙවන්නෙමි. කිසිදාක කිසිවකුගේ හෝ කිසිම පක්ෂයක හෝ කිසිම දේශපාලන මතවාදයක හෝ ගැත්තකු නොවූවා සේ ම ඉදිරියටත් නොවන්නෙමි. එය, ආත්මාර්ථයෙන් තොරව දේශපාලනය කළ මගේ සීයාටත් තාත්තාටත් කරන ගෞරවයකැයි මම සිතමි. 


Saturday, May 30, 2020

ඉස්කෝලෙ කාලෙ යොවුන් නවකතාව සහ ඞීබී

මගේ ඉස්කෝලෙ කාලෙ යොවුන් නවකතාව ගැන ප‍්‍රවීණ ලේඛක ඞීබී කුරුප්පු මහතාගේ හිතේ තිබ්බෙ ලොකු ආසාවක්. එය කියවූ දා සිටම ඔහු නොයෙක් වර ඒ ගැන මා සමග කතා කළා. වෙනෙකක් තියා ඔහු මේ පොත යම් සම්මානයක් දිනා ගනියි කියලත් විශ්වාස කළා. එහෙම නොවුණම ඔහු පුදුමයෙන් මා සමග ඒ ගැන කතා කළා.

”මේකෙ දෙවැනි කොටසක් ලියන්න  ඕනෙ” ඔහු කීප වතාවක් කිව්වා. මගෙත් එවැනි අදහසක් තිබ්බා. මොකද මේ පොත මං හුඟක් ආසාවෙන් ලිව්ව පොතක් නිසා. මේ පොතේ ලිව්ව බොහෝ දේ මගේ හැබෑ ජීවිතේ අත්දැකීම්. ඒ නිසාම මං ලිව්වා වුණත් අදත් මේ පොත කියවන විට මගේ ඇස් වලට කඳුළක් එනවාමයි.

පොතේ චිත‍්‍ර ඇන්දෙ ටිඩී අබේසූරිය මහතා. මං ඔහු හොයාගෙන ගිහින් මේ කටයුත්ත කරගත්ත හැටි අවුරුදු දහයකට විතර පස්සේ මට මතක් වෙනවා. ඒ චිත‍්‍ර හරිම අපූරුයි. මගේ කතාවටම ගැළපෙන මට අවශ්‍යම වූ ආකාරයේ චිත‍්‍ර.


”මේ පොත ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්න” කුරුප්පු මහත්තයා වතාවක් මට කිව්වා. මං ඒ ගැන හුඟක් මහන්සි වුණා. ඉංග‍්‍රීසි සහ දෙමළ භාෂා වලට පරිවර්තනය කරන්න අය සෙව්වා. දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න බාරගත් කෙනා පොත ගෙන්වාගත්තා. එයින් පස්සෙ එයා නිෂ්ශබ්ද වුණා. ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්න කෙනෙක් හොයාගන්න බැරිවුණා.


දවසක් කුරුප්පු මහත්තයා මේ ගැන මගෙන ඇහුවා. මං විස්තරේ කිව්වා. ඔහු අහගෙන හිටියා මිසක් යමක් කිව්වෙ නැහැ. සතියකට දෙකකට විතර පස්සෙ ඔහු නැවත කතා කළා.

”යෝජනාව මගේනෙ. මං ම පරිවර්තනය කරලා දෙන්නම්” ඔහු කිව්වා. කිව්වා විතරක් නෙවෙයි. මාස කීපයක් ඇතුළත ඔහු පරිවර්තනය නිම කළා. මට ලොකු සතුටක් දැනුණා.

”මගේ ඉංග‍්‍රීසි පරණයි කියල මට හිතෙනවා. මේක දුවෙකුට කියවලා ඒ අයට ගැළපෙන විදිහට එඩිට්කරවාගන්න” ඔහු කිව්වා.

”මං දුවෙකුට කියලා ටයිප් කරගන්නම්” මං කිව්වා. ඒත් ඒක කරගන්න බැරි වුණා. මොකද කිසිම කෙනෙකුට කුරුප්පු මහත්තයගෙ අත්අකුරු කියවගන්න බැහැ. ටිකක් හරි කියවගන්න පුලූවන් මට විතරයි කියලයි මට හිතෙන්නෙ. ඉතින් වැඬේ ටිකෙන් ටික කල් ගියා.
ඩීබීගේ අත්අකුරු

ඔහු මියයන්න පෙර පැවැත්වූ අවසාන පොත් එළිදැක්වීමෙදි කළ කතාවෙදි ඔහු මේ ගැන කිව්වා.

”මහලොකුවට කිව්ව දුවට කියලා ටයිප් කරගන්නම් කියලා. තාම වැඬේ කෙරුණෙ නැහැ.” ඔහු නෝක්කඩු කිව්වා. ”මං නොමිලෙම වැඬේ කළ නිසා අගයක් නැහැ නේද?” ඔහු ඇහුවා. මං පත්වෙලා හිටපු තත්වය ගැන පැහැදිළි කිරීමක් මගේ කතාවෙදි කරන්න එදා මට සිදුවුණා.

මේ පොත ඉක්මණින් ඉවරකරගන්න එක මගේ හිතේ ලොකු බරක් වගේ තිබුණා. මා නිසා නෙවෙයි. කුරුප්පු අංකල් නිසා මේ පොත ඉන්මණින් අවසන් කරගන්න මට අවශ්‍යව තිබුණා. ඔහුගෙ ශරීර සෞඛ්‍යය වේගයෙන් පිරිහෙමින් තියෙද්දි මං හරිම අසරණ වුණා. අවසානයෙදි ඔහු අප හැර යනවිටත් ඔහුගෙ පරිවර්තනය මගේ මේසය මතම තිබුණා.

පසුගිය මාස තුනක පමණ කාලය මම වැය කළේ ඒ කඩදාසි ගොන්න ටයිප් අකුරු බවට පෙරළන්න. ඒක අමාරු වැඩක්. බොහොම අමාරුවෙන් කියවමින් පිටුවෙන් පිටුව මමම ටයිප් කළා. සමහර දවසක පිටුවකට බාගෙකට වඩා ටයිප් කරගන්න බැරි වුණා. දැන් ඒ වැඬේ අවසානය කරා එළැඹෙමින් තිබෙනවා. දැන් මගේ අරමුණ හැකි ඉන්මණින් ඉස්කෝලෙ කාලෙ ඉංග‍්‍රීසි පරිවර්තනය මුද්‍රණයෙන් එළි දැක්වීම. ඞීබී අංකල් වෙනුවෙන්.

ඞීබී කුරුප්පු මහතා පරිවර්තනය කළ ඉස්කෝලෙ කාලෙ ඉංග‍්‍රීසි පොතත් ඉස්කෝලෙ කාලෙ සංශෝධිත අලූත් මුද්‍රණයත් දෙකම එකවර එළිදක්වන්න මං උත්සාහ කරනවා. මේ කොරෝනා කාලෙ හමාරවෙද්දි ඒ වැඬේ ඉවරකරගන්න පුලූවන් වෙයි කියලා මං හිතනවා.