මේ කුඩා පාරේ වම් පැත්තේ අලුත තැනූ එකවාගේ නිවාස දෙකක් විය. මේ කියන දවසේ අප පාසල ඇරී නිවසට ඇවිද එන විට ඒ එක ගෙයක් ගිනි ගනිමින් තිබුණි. ඒ ගෙය ගිනි තබා තිබුණේ පොලිසියෙනි.
Friday, June 4, 2021
අමතක නොවන චරිත දෙකක්
Friday, May 21, 2021
මැයි මාසයේ ආ පත්තරයක කතාවක්
මැයි මාසය එළැඹෙනවිට මතක පොත පුරා ලියැවෙන කතා රැසක් මගේ ජීවිතයේ ඇත. ඕස්ටේ‍්‍රලියාවේ පහන සඟරාව පිළිබඳ මතකය එවැන්නකි.
ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලාංකික ප‍්‍රජා පුවත්පත් අතර සෙරෙන්ඩිබ් නිව්ස් ඉංග‍්‍රීසි පුවත්පතට හිමිවන්නේ සුවිශේෂ තැනකි. ප‍්‍රජා පුවත්පතක් නොමිලයේ ලබාදිය හැකිය යන සංකල්පය අපේ සමාජය හමුවේ තැබුවේ ඒ පුවත්පතයි. පුවත්පත බිහිවන්නේ මා මෙල්බනයට පා තබා වසරකට දෙකකට පසුව යයි සිතමි. මේ ඉංග‍්‍රීසි පුවත්පතේ සිංහල පිටුවක් පවත්වාගෙන යන්නට ද උත්සාහයක් ගෙන තිබුණි. ඒ සිංහල පිටුව සකස් කළේ කව්දැයි මා තවමත් දන්නේ නැත. මේ පිටුව කියැවූ වහාම මට ඇතිවූයේ බලවත් කණගාටුවකි. ඒ පිටුව පුරා තිබූ වැරදි අප‍්‍රමාණ විය. මා ඒ සියල්ල රතු පෑනකින් ලකුණු කර පුවත්පතේ තිබූ ලිපිනයට යැව්වේ සිංහල පිටුවක් කරනවා නම් එය නිවැරදිව කරන්න යයි ඉල්ලමිනි.
එයින් මාස කීපයකට පසු මට මගේ කන්ද උඩ මාළිගාව කෙටිකතා පොත සම්බන්ධ සම්මුඛ සාකච්ඡුාවකට 3zzz ගුවන්විදුලියෙන් ආරාධනයක් ලැබුණි. මගේ සාකච්ඡුාවට පෙර ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති කියවමින් සිටි නිවේදිකාව මැදිරියෙන් පිටව එන අතරතුර මට හඳුන්වා දුන්නේ ගීතිකා වීරකෝන් ලෙස ය. ඇය එවකට සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සංස්කාරිකාව වූවා ය. ඇය සමග ඇගේ සැමියා වූ විරෝෂ් පෙරේරා ද විය.
”එදිරිසිංහ මහත්තයා හමුවෙන්නමයි හිටියෙ.. අපට එව්ව ලියුම ලැබුණා.. අපි ඒ අඩුපාඩු පිළිගන්නවා.. අපි කැමතියි මේ සිංහල පිටු වල වගකීම ඔබටම පවරන්න. අපේ පත්තරේ සිංහල පිටු අපට සංස්කරණය කරලා දෙන්න” ඔවුහු ඉල්ලා සිටිය හ. මම කැමතිවීමි. එතැන්සිට අවුරුදු දෙකක පමණ කාලයක් මම සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල පිටු සංස්කරණය කළෙමි. සිංහල පිටු ප‍්‍රමාණය පිටු හයක් දක්වා වැඩි කරන්නටද මට හැකි විය. ඒ පිටු ලේඅවුට් කරන ලද්දේ ද මවිසින්ම ය. ”ඔස්ටේ‍්‍රලියාවෙ පත්තරවලට පේජ් ලේඅවුට් කියන එක අඳුන්නලා දුන්නෙත් ජගත්” වරක් මා මිත‍්‍ර මාධ්‍යවේදී චරිත දිසානායක උත්සවයක කතාවක් පවත්වමින් කියූ සැටි මට මතක ය.
වරුණ සාවින්ද සොයුරා මා හා මිත‍්‍ර වන්නේ මේ වකවානුවේ ය. අප පළමුව හමුවන්නේ ඔහු මා සමග සම්මුඛ සාකච්ඡුාවක් පටිගත කරගැනීමට හයිඞ්ල්බර්ග් හි පිහිටි මගේ නිවසට ආ දිනයේ දීය. එදා සෙව්වන්දිකා ද විය. වැඩ සටහන ”සෞන්දර්ය චාරිකා” නම් විය. අපේ මිත‍්‍රත්වය දියුණුවත්ම තනි සිංහල පුවත්පතක් බිහිකිරීමේ අවශ්‍යතාව පිළිබඳව කතාව අප අතර ඇති විය. වරුණ මේ කාර්යයේදී සිය හිතවතුන් රැුසකගේද සහයෝගය අපට ලබාගත්තේ ය. අසෝක සිල්වා, නුවන් සමරපති, ප‍්‍රසන්න කුරුකුලරත්ත, ජගත් මුණසිංහ, ජගත් කොතලාවල වැනි නම් රැසක් මගේ මතකයට එයි. අතපසු වූ නම් ඇත්නම් සමාවන්න.
”ජගත් මල්ලි. ඔයාගෙ ටැලන්ට්ස් අපතේ යවමින් ඉන්න එක අපරාදයක්.. ඔයා සිංහල පත්තරයක් පටන්ගන්න.. මං සල්ලි දාන්නම්” බන්දු දිසානායක මහතා මට කීවේද මේ අවදියේදී ය. අප ම මුදල් එකතු කර පුවත්පතක් පටන්ගත යුතුය යන මතයේ වරුණත් මාත් සිටි බැවින් මම බන්දු අයියාට වචනයක් නොදුන්නෙමි.
අපේ පුවත්පතේ වැඩ කටයුතු සංවිධානය ඉක්මණ් ගමනින් ඉදිරියට ගියේ ය. වරුණ ”පහන” යන නම යෝජනා කළේ ය. අපි කැමතිවීමු. සම සංස්කාරකවරුන් ලෙස වරුණත් මමත් පහන ආරම්භ කළෙමු. අපේ හිතවත්තු හැකි පමණින් ආධාර කළ හ. අසෝක සිල්වා ඒ අතරින් ඉදිරියෙන් ම සිටියේ ය.
2003 මැයි මාසයේදී අපි පහන මංගල කළාපය නිකුත් කළෙමු. ඒ වෙනුවෙන් ඩැන්ඩිනොන් ආර්ට් සෙන්ටර් හිදී පැවති උත්සවයට මෙල්බනයේ සමාජ කටයුතුවල ඉදිරියෙන් සිටි බොහෝ පිරිසක් සහභාගි වූහ. ඒ වෙනුවෙන් වරුණ ලියූ කළිඳු වීරසිංහ සොයුරා ගේ තනුවෙන් අලංකාර වූ කළ ගීයක් නිර්මාණය කෙරුණි. සෙව්වන්දිකා අබේරත්න, නෙලූම් ලියනගේ, අතුල රංජන හා ජගත් මුණසිංහ ගායනා කළහ. කළිඳු වීරසිංහගේ සංගීතයට විහඟ විජේසේකර තබ්ලාවෙනුත් මම ගිටාරයෙනුත් එක්වීමු. උදුම්බරා සහ රංගන නර්තනයෙන් උත්සවය රසවත් කළ හ.
ඒ අවස්ථාව ඉතිහාසගත කරමින් ප‍්‍රසන්න කුරුකුලරත්න තැනූ වීඩියෝව මේ සමග වෙයි.
පහන ඔස්ටේ‍්‍රලියාව පුරා අතිශය ජනප‍්‍රිය පුවත්පතක් බවට පත්විය. ලේඛක ලේඛිකාවන් රැුසක් පහන ඔස්සේ බිහිවුණි. අපි බොහෝ වෙහෙස වී පහන ඒ තත්වයට ගෙන ආවෙමු. ඒ ගමන අපූරු ය.
ඒ සියල්ල නැවත ස්මරණය කරමින් සතුටුවන්නට අද මට හැකි ය.
Monday, May 17, 2021
සඟරාවක මතකයක්
පසුගියදාක ලංකාවේ සිටින මිතුරියක් මැසෙන්ජර් පනිවුඩයකින් පින්තූර කීපයක් එවා තිබුණා. ඈ එවූ පින්තූර කීපය පහතින් මුළින්ම තියෙනවා.
ඒ සමගම ඇය ප‍්‍රශ්නයක් අසා තිබුණා. ”මේ ගැන ඔබේ මතකය කොහොමද? 1977.7.7”
මේ පින්තූර මා පුදුමයට පත්කළා.
”මම ඊ්යෙ යාලූවෙකුගෙ ගෙදර ගියා. ඒ යාලූවා ළඟ මේ සඟරාව තිබුණා” මගේ මිතුරිය ලියා එව්වා.
මා පාසල් වියේ සංස්කරණය කළ සඟරාවක් අවුරුදු 34කට පසුව ලංකාවේ කිසිවකු අත තවමත් තිබෙනවාය කියන පුවත මගේ සිතේ ඇති කළේ වචනයෙන් කියන්න බැරි සතුටක්.
”මුතුහර” කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රලයයේ සිසුවකුව සිටියදි මම සංස්කරණය කළ සඟරාව. ඒකට පසුබිම් කතාවක් තියෙනවා.
අපි හිටියෙ විද්‍යා අංශයෙ. ඒත් ඔලූවෙ තිබුණෙම සාහිත්‍යය. කලා අංශයේ ශිෂ්‍යයන් බලය තියාගත්ත සිංහල සාහිත්‍ය සංගමයක් තිබුණා. ඒකෙන් කළ කිසිම වැඩක් නැහැ. මට එදා ඉඳලම තිබුණෙ සාහිත්‍ය වැඩ කිරීමේ පිස්සුවක්. ඒ පිස්සුව හොඳ කරගන්න මං තෝරගත්තෙ විද්‍යා ශිෂ්‍ය සංගමය. ”මුතුහර” සඟරාව මම සංස්කරණය කළේ විද්‍යා ශිෂ්‍ය සංගමය වෙනුවෙන්. මුතුහර කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයීය ඉතිහාසයේ බිහිවුණ දෙවන මුද්‍රිත සඟරාව. (එයිට කලින් විද්වාන් නමින් සඟරාවක් මුද්‍රණය වෙලා තිබුණා* මුතුහරේදි මං උත්සාහ කළේ කාටත් එකසේ රස විඳිය හැකි සඟරාවක් බිහිකිරීම.
මේ සඟරාව සඳහා වෙළඳ දැන්වීම් හොයන්න මගේ මිත‍්‍රයා උදය ලක්ෂ්මන් සහ මං වින්ද දුක හරිම රසවත් මතකයක්. සඟරාව සඳහා වෙළඳදැන්වීම් දිමෙන් අනුග‍්‍රහය දක්වන ලෙස එවකට වෙළඳ ඇමති ටී බී ඉලංගරත්න මහතාම සිය අත්සන සහිතව නිකුත් කළ ලිපියක් අප ළඟ තිබුණා. වෙළඳ දැන්වීම් විශාල ප‍්‍රමාණයක් ලැබුණා. සඟරාව ලාබයකුත් ලැබුවා.
මුද්‍රණය කළේ නාවල තිබුණ ශ‍්‍රී කාන්ති කියන පුංචි මුද්‍රණාලයේ. ඔවුන් ඉතා අලංකාර ලෙස වැඬේ කළා. මම හැම පිටුවක්ම එකිනෙකට වෙනස් ආකාරයට ලේ අවුට් කරන්න උත්සාහ කළා. ඒත් මට අවශ්‍යම තැනේදි වැඬේ වැරදුණා. තුන්වෙනි පිටුව. තුන්වෙනි පිටුව තමයි මට සඟරාවෙ වැදගත්ම පිටුව. ඒ පිටුව මුද්‍රණය කරන්න සූදානම් වෙච්ච දවසෙ මම නාවලට එමින් සිටියදී අතරමගදි අපේ පන්තියේ හිටිය යාලූවෙක් නුගේගොඩදි හමුවුණා.
”දැන් යන්න ඕනෙ නෑ මචං.. මං පෘෆ් කියවලා ඇපෲව් කරළා ආවෙ” ඔහු කිව්වා. මට තරු විසිවුණා.
”මොන පිටුද ඇපෲව් කළේ?”
”තුන්වෙනි පිටුව” ඔහු කිව්වා. ඒ වෙලාවෙ මට දැනිච්ච දුක අදත් මට දැනෙනවා. මේ තියෙන්නෙ මගේ මිත‍්‍රයාගේ අවශ්‍යතාව අනුව මුද්‍රණය වෙච්ච තුන්වෙනි පිටුව. මේ මට අවශ්‍ය වුණ ආකාරයේ තුන්වෙනි පිටුව නම් නෙවෙයි.
සඟරාවට අමතරව පාසලේ විද්‍යා ශිෂ්‍ය සංගමය හරහා අපි සාහිත්‍ය තරගාවලියක් තිබ්බා. කවි කෙටිකතා සහ රචනා අංශ වලින්. ඒ තමයි මං සංවිධානය කළ පළමු තරගය. ඉන්පස්සෙ මං සාහිත්‍ය තරග හතරක් කරලා තියෙනවා.
පහන සඟරාව මගින් කළ සාහිත්‍ය තරගය
සන්නස සඟරාව මගින් කළ සාහිත්‍ය තරගය
ඞීබී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගය 2018
ඞීබී කුරුප්පු අනුස්මරණ කෙටකතා තරගය 2020
පුලූවන් වුණොත් තව ඉස්සරහටත් සාහිත්‍යය වෙනුවෙන් යමක් කරනවා. ඒ උණ තාම තියෙනවා.
මුතුහර කාලෙ වෙච්ච ඇබැද්දියක් මගේ මානව බ්ලොග් එකේ ලිව්වා. කැමති නම් කියවලා බලන්න.
Friday, February 12, 2021
ගීයක් ගැන කතාවක්..
අපි පුංචි කාලෙ ඉඳන් හැදුණෙ කලාත්මක දේ බහුලව තිබූ පරිසරයක. සංගීතය, චිත‍්‍ර ශිල්පය, ලේඛණය, නාට්යය අපේ ළමා ජීවිතයෙ හැම පැත්තෙම තිබුණා.
Saturday, December 12, 2020
ගවුනකල්පය
ගවුනකල්පය? මොකක්ද ඒ? ඒ ගැන කියන්නට පෙර මේ අතුරු කතා කියා නිම කරන්නට සිදුවෙයි.
දැනුම උදෙසා ම කියැවූ පොත පත අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව ඇමරිකානු ප‍්‍රකාශන ආයතනයක් සමග එක්ව මුද්‍රණය කර තිබූ ”විද්‍යාව” නම් විශාල පොත, රුසියානු ලේඛක වයි පෙරල්මන්ගේ ගණිත විනෝදය, නවයුගය පුවත්පත වැනි ප‍්‍රකාශන මගේ මතකයට එයි.
මේ පොත පත අතරේ අපට දැනුම ලබාදුන් සුවිශේෂී සඟරා ගණනාවක් තානාපති කාර්යාල මගින් මුද්‍රණය කොට බෙදා හැරුණි. සීතල යුද්ධයේ ඉහළ ම අවධියක සිටි ලෝකයේ බලවත් රටවල් තරගයට මෙන් මුද්‍රණය කර බෙදාහැරි මේ සඟරා වලින් ඒ ඒ රටවල රටවල ජන ජීවිතය, භූගෝලීය සාධක, විද්‍යාත්මක සොයාගැනීම් ආදී විවිධ කරුණු කාරණා කියවන්නට අපට හැකි විය. සෝවියට් තානාපති කාර්යාලයේ ”සෝවියට් දේශය” ඇමරිකන් තානාපති කාර්යාලය සහ බටහිර ජර්මන් තානාපති කාර්යාලය මගින් මුද්‍රණය කර බෙදා හැරි සඟරා (නම් මතක නැත) වියට්නාම් තානාපති කාර්යාලයෙන් බෙදාහැරුණ වියට්නාම් ඉංග‍්‍රීසි සඟරාව ආදිය මගේ මතකයට එයි. වියට්නාම් යුද්ධය ද පැවති මේ කාලයේ වියට්නාම් සඟරාවේ තිබූ රූමත් වියට්නාම් කෙල්ලන් ගේ පින්තූර මගේ විත‍්‍රපොතේ ඇන්ද හැටි ද මතක ය. (මේ කාලයේ මම මගේ මාමාගෙන් චිත‍්‍ර ඇඳීම ඉගෙන ගනිමින් සිටියෙමි)
මේ අතුරු කතා ලිව්වේ කියන්නට ආ කතාවට ප‍්‍රවිශ්ටයක් ලෙස ය.
වෛද්‍ය විද්‍යාවේදී නව බෙහෙතක් සොයා ගන්නා විට ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක වේදැයි සොයා බලන්නට මිනිස් සාම්පල වලට ලබාදීම සම්මත ක‍්‍රමයයි. ස්වකැමැත්තෙන් මේ සඳහා ඉදිරිපත්වන්නන් කාණ්ඩ දෙකකට බෙදා එක් කණ්ඩායමකට නියම බෙහෙතත් අනෙක් කණ්ඩායමට ඒ බෙහෙතේ ආකාරයට ම නිර්මාණය කළ ව්‍යාජයක් ලබා දෙනු ලබන අතර කාණ්ඩ දෙකෙහි අය බෙහෙතට දක්වන ප‍්‍රතික‍්‍රියා නිරීක්ෂණය කෙරෙයි. ඇත්ත බෙහෙත බොන අය සේ ම සමහර විට ව්‍යාජ බෙහෙත් බොන සමහර අය ද සුව වනු දකින්නට ලැබීම ද පුදුමක් නොවී ය. බෙහෙත කෙරෙහි ඇති මානසික විශ්වාසය එයට හේතුවන්නට ඇතැයි කියැවෙයි. මෙය ප්ලැසිබෝ ඉෆෙක්ට් placebo effect නමින් හැඳින්වෙයි.
බෙහෙතක් ලෙස පෙනී සිටින ව්‍යාජය හැඳින්වෙන්නේ placebo යන ඉංග‍්‍රීසි වදනින් ය.
ප්ලැසිබෝ ගැනත් ප්ලැසිබෝ ඉෆෙක්ට් ගැනත් ඒ කාලයේ මට කියා දුන්නේ ඉහළ පන්තියක සිටි මගේ අයියා කුමාර් ය.
ප්ලැසිබෝව විකිපීඩියාවේ අර්ථ දැක්වෙන්නේ මෙසේ ය.
A placebo (/pləˈsiːboʊ/ plə-SEE-boh) is a substance or treatment which is designed to have no therapeutic value. Common placebos include inert tablets (like sugar pills), inert injections (like saline), sham surgery, and other procedures.
Placebo වෙනුවෙන් භාවිතා වන සිංහල වදනක් මට සොයා ගන්නට නොලැබුණි. එහෙත් 70 දශකයේදී බටහිර ජර්මානු තානාපති කාර්යාලයෙන් බෙදාහැරුණ සිංහල සඟරාවක placebo යන ඉංග‍්‍රීසි වචනය වෙනුවෙන් අපූරු සිංහල වදනක් යොදා ගෙන තිබුණයුර මට තවමත් මතක ය. ”ගවුනකල්පය” ඒ වදනයි.
මොන යම් හේතුවක් නිසා හෝ placebo වෙනුවට සාදාගත් ගවුනකල්පය වචනය එතැනින් ඔබ්බට භාවියට නොආ බව පමණක් මම නිරීක්ෂණය කළෙමි.
කෝවිඞ් එන්නතක් හදන්නට ලෝකය ම වෙහෙසෙන මේ කාලයේ placebo වදන නිතර ඇසෙන විට මගේ සිහියට ආ ගවුනකල්පය වචනය ඔබට සිහිපත් කරදෙන්නට සිතුවෙමි. ඒ වචනය හොඳ නිසා නොවේ. මෙහෙම දෙයකුත් සිදුවුණා නේදැයි ඔබට සිහිපත් කර දෙන්නට ය.
Tuesday, November 24, 2020
මගේ තනු නිර්මාණ... ඒ කතාව
මගේ තනු නිර්මාණ ගැන ෆේස්බුක් එකේ ලියූ සටහන ගැන වැඩි අවධානයක් යොමුවී ඇති බව පෙනුණා. බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් ද කළා.. ඒ ගැන වැඩිදුරට යමක් ලියන්න හිතුවෙ ඒකයි. මේවා කෙනෙකුට වැදගැම්මක් නැති පුරසාරම් කතා වෙන්න පුලූවන්. ඒ නිසා කැමතිනම් පමණක් කියවන්න.
ෆේස්බුක් සටහන මෙහෙමයි.
මේ වෙනස් ම ආකාරයක වැඩකි. ගීතය ලිව්වේ වරුණ සාවින්ද යි. ඒ ලියූ ගීතය ඔහු මා අතට දුන්නේ අපූරු ඉල්ලීමක් ද සමගින් ය.
”මේකට නූර්ති ගීයක් වගේ තනුවක් දාලා දීපං”
නූර්ති ගීය මට හොඳින් හුරු පුරුදු ය. මා හැදී වැඩුණේ නූර්ති ගී උදේ හවා ඇසුණ පරිසරයක ය.
මගේ අම්මා ගේ මාමා ටවර් හෝල් යුගයේ නූර්ති වේදිකාවට ගෙනා ඤූු ෙ– ඩබ්ලිව් ගුණතිලක ය. එතුමා වේදිකාව මත පෑ විස්මිත දර්ශන නිසා ම විස්මකර්ම ගුරුතුමා නමින් හැඳින්වීමක් ලබා ගත්තේ ය.
ඔහු පිළිබඳ විස්තරය මෙතැනින් කියවන්න
අතීතයෙන් කතාවක් 1
එතුමන් ගේ පුතා මගේ අම්මා ගේ මස්සිනා මගේ මාමා වූ කලා භූෂණ ලයනල් ගුණතිලක අප කුඩා කාලයේ පදිංචිව සිටියේ නුගේගොඩ මිරිහානේ අපේ නිවස ආසන්නයේම ය. මේ නිවස උදේ හවා නූර්ති ගී ගැයුණ වැයුණ රසගුලාවක් විය. ලංකාවේ නන් දෙසින් ආ ශිල්පීන් වයද්දී ගයද්දී අපි වශී වී බලා සිටියෙමු. ලයනල් මාමා ටවර් හෝල් නාට්‍යයක් ශ‍්‍රී සංඝබෝධි නමින් බොරැුුල්ලේ වයිඑම්බීඒ ශාලාවේ වේදිකාගත කරද්දී අපි තිරය පිටුපසට වී මේ විස්කම් කෙරෙන ආකාරය දැක බලා ගන්නට වාසනාව ලැබුවෙමු.
ඉදින් එවන් මගෙන් වරුණ මේ ඉල්ලීම කළ විට එය මම සතුටින් බාරගත්තෙමි. මේ ඒ පදමාලාවට මා නිමැවූ තනුවයි. සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් ය. එතුමන් මේ තනුවට යම් පැසසුමක් කළ බව ද සෙව්වන්දිකා මට වරක් කීවා ය. සතුටකි..
ඉදින් අසා බලමු..
මේ සටහනට දැමූ වරුණ සාවින්ද ගේ කොමෙන්ට් එක මෙහෙමයි..
Waruna Savinda
"ජගත් උබ සගවගෙන ඉන්න තවත් කුසලතාවයක් තමයි මේ සංගීතය පිලිබද උබට තියෙන හැකියාව. උබ මගේ පද රචනයට අවැසිම තනුව රචනය කලා. උබ ඒ අපුරු තනුවෙන් මා ලියූ ගීතයට පණ දුන්නා.
උබ උබේම සංගීතයෙන් රසවත් කල උබම ලියපු සිංදු කීපයක්ම තියෙනවා. ඒවාත් ඉතාම රසවත් මචං.
චන්ද‍්‍රකාන්ති දී සවුම්‍ය ආලොකේ වැටේවි.
නිදි නැති යහන සොය සොයා
කවුළු දොරින් ඒවි බේරි.
ශෘංගාර රසය හෘදේ වැඬේවි.
සිසිලස කොහෙද මා ප‍්‍රියේ
නිදි නැති පාලූ යාහනතේ
හද දුක වාවගනු කෙසේ
තනිවම මේ සදළුතලේ
සුන්දරතාවයමයි..
තීවුර කරන්නේ සංවේගේ..
වාසල් දොරටු හැර තියේ
මුරකාවල්ද නෑ ප‍්‍රියේ
නුවරුන් නිදයි රාත‍්‍රියේ
දැල්වෙයි පහන් වීදියේ
ආලය අන්ධයි.. ඒකයි
මග බලමින් ලතවෙන්නේ..
නැවතත් ස්තුතියි ඒ මනරම් තනුවට."
තරුණ කාලයේ නුගේගොඩ පුංචි සංගීත කණ්ඩායමක රිදම් ගිටාරය වාදනය කළත් යන්තමින් ඕගනයක් ගිටාරයක් වාදනය කරගන්න හැකි වුණත් මං සංගීතඥයකු නෙවෙයි. සංගීතඥයකු වන්නට අවශ්‍ය සතත අභ්‍යාසයේ නිරත වෙන්න මට කවදාවත් වෙලාවක් තිබුණෙ නැහැ. දැන් මේ වාදනය කරන්නෙ මගේ සතුට වෙනුවෙන් පමණයි. නමුත් මේ පිටිපස්සෙ කතාවක් තියෙනවා.
මගේ ජීවිතයට තදින් බලපාපු මාමාවරු තිදෙනෙක් ඉන්නවා.
මගේ අම්මා ගේ අයියා - ස්ටීවන් ගූණතිලක මාමා - ඔහු දක්ෂ චිත‍්‍රශිල්පියෙක්. ඔහු සම්බන්ධව සිටියේ සිනමා කලා අධ්‍යක්ෂණයට. කේ ඒ ඩබ්ලිව් පෙරේරා එල් එම් පෙරේරා වැනි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සියලූම චිත‍්‍රපටවල වගේ කලා අධ්‍යක්ෂණය කළේ මගේ මාමා. ඔහු තමයි චිත‍්‍ර ශිල්පයේ අයන්න ආයන්න ඉගැන්නුවෙ. ඒ කතාව වෙනම ලියන්නම්.
මගේ තාත්තා ගේ ඥාති සහෝදරයකු වූ ලයනල් සරත් එදිරිසිංහ මාමා - ඔහු දක්ෂ ලේඛකයෙක්. ලංකාවේ පළමු විකල්ප පුවත්පත ලෙස මං විශ්වාස කරන ”බජරි හටන” ගැහුවෙ ඔහු. ඔහු පොත් ගණනාවක් ලියා තිබෙනවා. ලේඛකයකු ලෙස ඉදිරියට යන්නට ලොකු උත්තේජනයක් වුණේ ඔහු.
මගේ අම්මාගේ මස්සිනා - ලයනල් ගුණතිලක මාමා - ඔහු ගැන මගේ ෆේස්බුක් සටහනේ ලියලා තියෙනවා. ඔහු ඇසුරේ තමයි අපි සංගීතයට ළං වෙන්නෙ.
මට ඒ කාලෙ ලොකුම ආසාව තිබ්බෙ තබ්ලා වාදකයකු වන්න. ඒ ගැන මා ලියූ බ්ලොග් සටහන මෙතැනින් කියවන්න.
තබ්ලාවාදකයෙක් වන්නට පෙරුම් පිරුවෙමි
රුසියාවෙ ඉංජිනේරු අධ්‍යාපනය ලබමින් හිටිය මගේ අයියා එහේ ලංකා නමින් වූ බටහිර සංගීත කණ්ඩායමට එක්වෙනවා බේස් ගිටාර් වාදකයකු ලෙස. නිවාඩුවකට ලංකාවට එනවිට අයියා ගිටාරයක් අරගෙන එනවා. අපි ඒ ගිටාරයට වශී වෙනවා. අයියා නැවත ගියාට පසුව අපේ යහලූවකු වෙතින් අපි ගිටාරය වාදනය කරන හැටි ඉගෙනගන්නවා. ඒ ගමනේ අවසානයෙදි අපි නුගේගොඩ ”සමර් නයිට්ස්” නමින් පුංචි කණ්ඩායමක් පිහිටුවා ගන්නවා. මං රිදම් ගිටාර් එක ගැහුවා. අපේ යහලූවෙක් වෙච්ච ටේරවෝ ඩ‍්‍රම්ස් ගැහුවා. මංල්ලි සින්දු කිව්වා.
අපටමය කියලා සංගීත භාණ්ඩ තිබුණෙ නැහැ. අපි පුහුණු වුණේ බම්බලපිටියේ තිබුණ සංගීත භාණ්ඩ කුලියට දෙන තැනක. පැය ගානට සල්ලි ගෙවලා. අපි කාටවත් රස්සාවල් තිබුණෙ නැහැ. ඒ කාලෙ ඒ සල්ලි හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්.
මගේ උසස් අධ්‍යාපන කටයුතුත් ඉන්පසු රැකියාවත් නිසා මේ සියල්ල මගෙන් ඈත් වෙලා ගියා. ඒත් මගේ සතුටට ගෙදර බොක්ස් ගිටාරය වයමින් හිටියා.
මුළින්ම ගීයක් ලියලා තනුවක් දැම්මෙ බොහොම පොඩි කාලෙ. අපේ තිබුණ ”ළමා කලා කවය” කියන පුචි සමිතියට. ඒ කාලෙ මං හිටියෙ අටේ නවය පංති වල කියලයි මං හිතන්නෙ.
”ළමා කලා කවයයි මේ
පොඩිත්තන්ගෙ වැඩ පෙන්වන
ළමා කලා කවයයි මේ”
සමර් නයිට්ස් කාලෙ මං ගීත කීපයක් ම ලියලා තනු නිර්මාණය කළා. ඒත් ඒවා කවදාවත් පටිගත කරන්න උනන්දුවක් හෝ දැනුමක් හෝ ඒ කාලෙ අපට තිබ්බෙ නැහැ.
”මතකේ රැුඳුනා - ඔබගේ රන් පිළිරූ”
”ආරාධනා”
”සුදු තාරකා - සේලෙන් එහා” මට මතක ගී තුනක්.
ඒ කාලෙ අපි ක්ලැරන්ස් විජේවර්ධනට වහ වැටිල හිටියෙ. ඔහුගෙ ආරේ යමින් මම තනුව නිර්මාණය කළ සුදු තාරකා ගීතය අවුරුදු 15ක පමණ කාලයකට පසු තැටිගතවෙනවා. ඒ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණාට පස්සෙ ශ‍්‍රීපාලි එදිරිසිංහ ගේ සුදු තාරකා සංගත තැටිය වෙනුවෙන්. සංගීත සංයෝජනය මගේ ප‍්‍රිය මිත‍්‍ර විශාරද රෝහණ ධර්මකීර්තිගෙන්. ඒ ගීතය මෙතැනින් අහන්න.
සුදු තාරකා - ශ‍්‍රීපාලි එදිරිසිංහ
මේ සංගත තැටියට ම ශ‍්‍රීපාලි ජානක වික‍්‍රමසිංහ සමග ගයන ”හම හමා ඇදෙන” ගීය ලියා තනු නිර්මාණය කළෙත් මම. ඒක මෙතැනින් අහන්න.
හම හමා ඇදෙන - ජානක වික‍්‍රමසිංහ ශ‍්‍රීපාලි එදිරිසිංහ
මම ලියා තනු නිර්මාණය කළ තවත් ගීයක් රොහාන් ශාන්ත බුලේගොඩ සමග ශී‍්‍රපාලි ගයනවා. මේ ගී දෙකේම සංගීත සංයෝජනයත් රෝහණගෙ මයි.
කඳුළු තොට ළඟ - රොහාන් ශාන්ත බුලේගොඩ ශ‍්‍රීපාලි එදිරිසිංහ
අසුන්තා කරුණාරත්න ඇගේ පළමු සංගත තැටියක් වෙනුවෙන් ගීයක් ඉල්ලා සිටියා. ”දසන්තය” ගීතය ලියලා තනුවක් දමා ඇයට දුන්නා. ”මේකෙ සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්තිට දෙන්න” මං ඇගෙන් ඉල්ලූවා. ඒ ඉල්ලීම අනුව රෝහණ මියුරු සංගීත සංයෝජනයක් කළා. මේක අතීත පේ‍්‍රමයක් ගැන කෙරෙන ස්මරණයක් පමණයි. ඇය කියනවා මං අඬලා ඉවරයි කියලා. තරුණ කාලයේ මගේ පළමු පේ‍්‍රමයෙන් ඉවත්වීමෙන් පසු මට දැනුණ සැනසීම පමණයි මේ තනුව නිර්මාණ කරද්දි මගේ හිතේ තිබුණෙ.
ශ‍්‍රීපාලි සමග මිහිඳු මාපා ගායනා කරන මේ ගීතයත් මගේ තනුවක් සහ පද රචනයක්. ”ඔබට හිමි නැති”. මේ ගීතයේ සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ මගේ මිත‍්‍ර ආනන්ද වන්නිනායක. සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්ති.
ඔබට හිමි නැති - ශ‍්‍රීපාලි එදිරිසිංහ / මිහිඳු මාපා
මගේ තවත් තනුවක් සහ පදරචනයක්ග ”පිනි බිඳක් සැලූණා” මේ ගීතයේත් සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ මගේ මිත‍්‍ර ආනන්ද වන්නිනායක. සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්ති.
පිනි බිඳක් සැලූණා - ශ‍්‍රීපාලි එදිරිසිංහ
මේ, මේ වෙලාවෙ මට හොයාගන්න පුලූවන් වුණ ගීත කීපයක් පමණයි. මං තනු නිර්මාණය කළ ගීත 20කට වැඩියි. ඒවා හොයා ගන්න පුලූවන් වුණ වෙලාවක මේ සටහන අගටම අමුණන්නම්.
Thursday, November 5, 2020
අපේ කතාවක්....
මෙය පළමු වතාවට කුලියාපිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක් පිහිටවූ දා එහි ආරම්භක සාමාජිකයන් පක්ෂයේ නායක එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක බණ්ඩාරනායක මහතා සමග ගත් සේයාරුව යයි යම්කිසිවකු මට කියාදුන්නේ එදා ය. සේයාරුවේ මැද එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහතා සිටින අතර දකුණු කෙළවරේ ජාතික ඇඳුමින් සිටින්නේ මගේ සීයා ෆ‍්‍රැන්සිස් පී ජේ එදිරිසිංහ යි. (අපේ නම් වල මැද ඇති "ජේ" අකුර අපේ පරම්පරාවෙන් එන එකක් මිස ලස්සනට දමාගත් එකක් නොවේ)
![]() |
| කුලියාපිටිය ඔරලෝසු කණුවේ සමරු ඵලකය (සේයාරුව එවූ සමිත ජේ එදිරිසිංහ පුතාට ස්තුතියි) |
සීයා වයස අවුරුදු 62 දී හෘදයාබාධයකින් මිය යන විට කුලියාපිටියේ උප නගරාධිපතිව සිටියේ ය. කුලියාපිටිය නගරය මැද ඇති ඔරලෝසු කණුවේ තවමත් ඔහුගේ නම සඳහන්ව ඇතැයි මම අසා ඇත්තෙමි.
සීයා ගේ ගම නුගේගොඩ වුවත් ඔහු ගම අතහැර කුලියාපිටියට යන්නේ හිතුවක්කාර විවාහයක් කරගත් නිසා ය. ඒ විවාහය වෙනුවෙන් ඔහු සිය පියාට අයත්ව නුගේගොඩ නගරය මැද පිහිටි විශාල ඉඩකඩම් යායක් අතහැර දැමුවේ ”මට උඹලගේ ඉඩකඩම් ඕනෙ නැහැ” කියා ය. (පේ‍්‍රමටය වඩා වැදගත් දෙයක් අපේ පරම්පරාවේ කිසිවෙකුට නොතිබුණ බව කල්පනාවෙන් බලන විට අදත් මට සිතෙයි. අපේ මහගෙදර ඇති නුගේගොඩ නගරය මැද පිහිටි ඉඩම තාත්තා ගේ නැන්දා කෙනෙකෙු ගේ අයිතියෙන් අපේ තාත්තාට ලැබුණ එකකි. සීයා ගේ පේ‍්‍රම කතාව මම වෙනත් ලිපියක ලියා ඇති බැවින් නැවත නොලියමි)
බණ්ඩාරනායක මහතා සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ අපේ සීයා ඒ පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කුලියාපිටියේ නගර සභාවට තරග කර එහි උප නගරාධිපති වීමෙන් පමණක් සෑහීමට පත්ව සිටියේ ය.
”ඇයි සීයා පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළේ නැත්තෙ?” මම මෑතදී තාත්තාගෙන් ඇසුවෙමි.
”ඒ කාලෙ දැන් කාලෙ වගේ එහෙම පොරයක් තිබ්බෙ නෑ.. පප්පට එහෙම අවශ්‍යතාවක් වත් තිබ්බෙ නැහැ.. එයා සද්ද නැතුව එයාගෙ වැඩ ටික කරගෙන ගියා” තාත්තා කීවේ එහෙම ය.
එහෙව් මිනිසුන් හැදූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිසේන නම් වන ග‍්‍රාමසේවකයකු විසින් විනාශ කරන ලද ආකාරය ගැන කණගාටුවක්ද වරෙක සිතේ ඇති වෙයි.
සිය පප්පා බරපතළ ශ‍්‍රීලංනිපාක්ෂිකයකු වන විට අපේ තාත්තා නැවතුනේ කොමියුනිස්ට් පක්ෂයේ ය. සිය තරුණ කාලයේ උද්යෝගිමත් කොමියුනිස්ට් පාක්ෂිකයකු වූ තාත්තා තමන් සාර්ථකව කරමින් සිටි බීඩි ව්‍යාපාරය ජනසතු කිරීමට අදාල වාර්තාව තමන්ගේ ම අතින් ලියා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ වික‍්‍රමසිංහට දුන්නේ ය. බීඩි ව්‍යාපාරය ජනසතුවීමත් සමගම තාත්තා ගේ ව්‍යාපාරයද නවතා දැමුණි.
---------------------------------------
වැඩි විස්තර සඳහා මේ ලිපිත් කියවන්න...
කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද?
කොමියුනිස්ට්කාරයෙකුට බිස්නස් කරන්න පුලූවන්ද? 2
----------------------------------------
වයසින් මුහුකුරායත්ම තාත්තා ඒ දේශපාලනයෙන් ඈත්වූයේ ය.
”දැඩි මර්දනයකින් තොරව කොමියුනිස්ට් පාලනයක් පවත්වාගෙන යන්න බැහැ” තාත්තා පසුකාලීනව කීවේ ය. ජීවිත කාලය ම කොමියුනිස්ට්වාදයට ආශක්තව සිටි මම ද දැන් වයසින් මුහුකුරා යමින් සිටිමි. මට ද දැන් සිතෙන්නේ තාත්තා ගේ අදහස නිවැරදි ය යන්න ය. විවිධාකාර අදහස් ඇති සංකීර්ණ මිනිස් සමාජයක් එක් රාමුවකට කොටු කර තබන්නට හැකි දේශපාලන ක‍්‍රමයක් තිබිය නොහැකි ය. අප මහන්සි විය යුත්තේ සාධාරණ සමාජයක් බිහිකර ගන්නට ය.
එනිසා අදත් මම නිර්පාක්ෂිකයකුව සැහැල්ලූවෙන් දිවි ගෙවන්නෙමි. කිසිදාක කිසිවකුගේ හෝ කිසිම පක්ෂයක හෝ කිසිම දේශපාලන මතවාදයක හෝ ගැත්තකු නොවූවා සේ ම ඉදිරියටත් නොවන්නෙමි. එය, ආත්මාර්ථයෙන් තොරව දේශපාලනය කළ මගේ සීයාටත් තාත්තාටත් කරන ගෞරවයකැයි මම සිතමි.
Saturday, May 30, 2020
ඉස්කෝලෙ කාලෙ යොවුන් නවකතාව සහ ඞීබී
මගේ ඉස්කෝලෙ කාලෙ යොවුන් නවකතාව ගැන ප‍්‍රවීණ ලේඛක ඞීබී කුරුප්පු මහතාගේ හිතේ තිබ්බෙ ලොකු ආසාවක්. එය කියවූ දා සිටම ඔහු නොයෙක් වර ඒ ගැන මා සමග කතා කළා. වෙනෙකක් තියා ඔහු මේ පොත යම් සම්මානයක් දිනා ගනියි කියලත් විශ්වාස කළා. එහෙම නොවුණම ඔහු පුදුමයෙන් මා සමග ඒ ගැන කතා කළා.
”මේකෙ දෙවැනි කොටසක් ලියන්න ඕනෙ” ඔහු කීප වතාවක් කිව්වා. මගෙත් එවැනි අදහසක් තිබ්බා. මොකද මේ පොත මං හුඟක් ආසාවෙන් ලිව්ව පොතක් නිසා. මේ පොතේ ලිව්ව බොහෝ දේ මගේ හැබෑ ජීවිතේ අත්දැකීම්. ඒ නිසාම මං ලිව්වා වුණත් අදත් මේ පොත කියවන විට මගේ ඇස් වලට කඳුළක් එනවාමයි.පොතේ චිත‍්‍ර ඇන්දෙ ටිඩී අබේසූරිය මහතා. මං ඔහු හොයාගෙන ගිහින් මේ කටයුත්ත කරගත්ත හැටි අවුරුදු දහයකට විතර පස්සේ මට මතක් වෙනවා. ඒ චිත‍්‍ර හරිම අපූරුයි. මගේ කතාවටම ගැළපෙන මට අවශ්‍යම වූ ආකාරයේ චිත‍්‍ර.
දවසක් කුරුප්පු මහත්තයා මේ ගැන මගෙන ඇහුවා. මං විස්තරේ කිව්වා. ඔහු අහගෙන හිටියා මිසක් යමක් කිව්වෙ නැහැ. සතියකට දෙකකට විතර පස්සෙ ඔහු නැවත කතා කළා.
”යෝජනාව මගේනෙ. මං ම පරිවර්තනය කරලා දෙන්නම්” ඔහු කිව්වා. කිව්වා විතරක් නෙවෙයි. මාස කීපයක් ඇතුළත ඔහු පරිවර්තනය නිම කළා. මට ලොකු සතුටක් දැනුණා.
”මගේ ඉංග‍්‍රීසි පරණයි කියල මට හිතෙනවා. මේක දුවෙකුට කියවලා ඒ අයට ගැළපෙන විදිහට එඩිට්කරවාගන්න” ඔහු කිව්වා.
”මං දුවෙකුට කියලා ටයිප් කරගන්නම්” මං කිව්වා. ඒත් ඒක කරගන්න බැරි වුණා. මොකද කිසිම කෙනෙකුට කුරුප්පු මහත්තයගෙ අත්අකුරු කියවගන්න බැහැ. ටිකක් හරි කියවගන්න පුලූවන් මට විතරයි කියලයි මට හිතෙන්නෙ. ඉතින් වැඬේ ටිකෙන් ටික කල් ගියා.
![]() |
| ඩීබීගේ අත්අකුරු |
ඔහු මියයන්න පෙර පැවැත්වූ අවසාන පොත් එළිදැක්වීමෙදි කළ කතාවෙදි ඔහු මේ ගැන කිව්වා.
”මහලොකුවට කිව්ව දුවට කියලා ටයිප් කරගන්නම් කියලා. තාම වැඬේ කෙරුණෙ නැහැ.” ඔහු නෝක්කඩු කිව්වා. ”මං නොමිලෙම වැඬේ කළ නිසා අගයක් නැහැ නේද?” ඔහු ඇහුවා. මං පත්වෙලා හිටපු තත්වය ගැන පැහැදිළි කිරීමක් මගේ කතාවෙදි කරන්න එදා මට සිදුවුණා.
මේ පොත ඉක්මණින් ඉවරකරගන්න එක මගේ හිතේ ලොකු බරක් වගේ තිබුණා. මා නිසා නෙවෙයි. කුරුප්පු අංකල් නිසා මේ පොත ඉන්මණින් අවසන් කරගන්න මට අවශ්‍යව තිබුණා. ඔහුගෙ ශරීර සෞඛ්‍යය වේගයෙන් පිරිහෙමින් තියෙද්දි මං හරිම අසරණ වුණා. අවසානයෙදි ඔහු අප හැර යනවිටත් ඔහුගෙ පරිවර්තනය මගේ මේසය මතම තිබුණා.
පසුගිය මාස තුනක පමණ කාලය මම වැය කළේ ඒ කඩදාසි ගොන්න ටයිප් අකුරු බවට පෙරළන්න. ඒක අමාරු වැඩක්. බොහොම අමාරුවෙන් කියවමින් පිටුවෙන් පිටුව මමම ටයිප් කළා. සමහර දවසක පිටුවකට බාගෙකට වඩා ටයිප් කරගන්න බැරි වුණා. දැන් ඒ වැඬේ අවසානය කරා එළැඹෙමින් තිබෙනවා. දැන් මගේ අරමුණ හැකි ඉන්මණින් ඉස්කෝලෙ කාලෙ ඉංග‍්‍රීසි පරිවර්තනය මුද්‍රණයෙන් එළි දැක්වීම. ඞීබී අංකල් වෙනුවෙන්.
ඞීබී කුරුප්පු මහතා පරිවර්තනය කළ ඉස්කෝලෙ කාලෙ ඉංග‍්‍රීසි පොතත් ඉස්කෝලෙ කාලෙ සංශෝධිත අලූත් මුද්‍රණයත් දෙකම එකවර එළිදක්වන්න මං උත්සාහ කරනවා. මේ කොරෝනා කාලෙ හමාරවෙද්දි ඒ වැඬේ ඉවරකරගන්න පුලූවන් වෙයි කියලා මං හිතනවා.
Friday, November 8, 2019
එල් බී ඒකනායක - වියත් ලේඛකයකු පිළිබඳ මතක සටහන් අතර
වියත් ලේඛකයකු පිළිබඳ මතක සටහන් අතර
ජීවිතයේ සමහර මතක සටහන් සිත මතුපිටට නොඑන ලෙස යටපත් කරගෙන ඉන්නේ ඒවා සිහිපත් වීමෙන් විඳින්නට සිදුවන වේදනාවට ඇති අකැමැත්ත නිසා ය. එවන් මතක සටහන් අතරින් එකක් 3zzz ගුවන්විදුලියේ හිටපු කැඳවුම්කරුවකු වන අසෝක සිල්වා සොයුරා විසින් පසුගියදා සංවිධානය කළ 3zzz ආදිතමයන්ගේ සුහද හමුවේදී මතුපිටට ආවේ නැවත වතාවක් ඒ අතීත වේදනාව විඳගන්නට අපට අවස්ථාව සළසාලමින් ය.

ඒ අප අතරින් වෙන්ව ගිය සැබෑ වියතෙකු වූ එල් බී ඒකනායක සූරීන් පිළිබඳ මතකයයි.
ඒ එක් කතාවක් රෝහණ කරුණාරත්න මතකයට ගෙන ආවේ මෙසේ ය.
”එල්බී අංකල් දවසක් රේඩියෝ එකට වැඩ සටහනක් ලියලා එව්වා... මේක අද යනව නේද කියල කීප සැරයක්ම ටෙලිෆෝන් කෝල් දීලත් ඇහුවා.. දානවා අංකල් දානවා.. අපි කිව්වා.. අපි හිතා හිටියේ ඒක දාන්නමයි. ඒ අන්තිමේ වෙලාව මදි වුණා.. වැඩ සටහන ඉවර වුණා විතරයි අංකල්ගෙන් බැණුම් හතයි.. මායි බන්දුයි කෙළින්ම ආවෙ අංකල්ගෙ ගෙදරට.. අංකල් ගෙදර නැහැ.. එයා තරහින් පුපුර පුපුර ඉඳලා එලියට බැහැල ගියා. ඇන්ටි කිව්ව.. අපි දෙන්න දැන් පාරවල් දිගේ ඇවිදිමින් අංකල්ව හොයනවා.. මෙන්න එක තැනකදි අපට පේනව අංකල් හයියෙන් හයියෙන් ඇවිදගෙන යනවා.. අපි දෙන්න දුවල ගිහින් ඒ පාරෙදිම බිම දණ ගහල අංකල්ට වැන්දා.. අනේ සමාවෙන්න අංකල් හිතා මතා කළ වරදක් නෙවෙයි.. ඔන්න ඒ පාර තමයි අංකල්ගෙ හිත නිවුණෙ.. දාන්නෙ නැත්නම් මට ඒක කලින්ම කිව්ව නම් ඉවරයිනෙ පුතා.. මං මේක අද යනවා කියලා කී දෙනෙකුට නං කිව්වද? ඒ මිනිස්සුත් අහන්න බලාගෙනනෙ හිටියෙ.. මං මඩවලටත් (මෙල්බනයේ සිටි වියත් ලේඛකයෙකි) කිව්ව අහන්න කියල .. ඔන්න ඔය වගේ තමයි එල්බීගෙ වැඩ.. තරහ ගත්තට අපට හරිම ආදරෙන් හිටියෙ”
එල් බී මා මුළින්ම දැන සිටියේ ”සිංගරුපාය” ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බනයේ 3zzz ගුවන්විදුලියට ලියූ ලේඛකයා ලෙස ය. මෙල්බන් ශ‍්‍රී ලාංකික ජීවිතය දෙස අපූරු බැල්මක් හෙළමින් ලියැවුණ සිංගරුපාය ඉතා අඩු පහසුකම් තිබුණ යුගයක නිමවුණ අපූරු ගුවන් විදුලි නාට්‍යයක් ලෙස අපේ සිත් බැඳගත්තේ ය. ඒ යුගයේ ගුවන් විදුලිය ඇසූ කිසිවකුට සිංගරු පාය අමතකව යා නොහැකි ය.
ඒ අතරම එල් බී එම ගුවන් විදුලියටම ලියූ ”විසිවන සියවස” වැඩ සටහන් පෙළ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය කෙරෙහි හෙළන ලද විචාරාත්මක බැල්මක් විය. අවාසනාවකට මේ වැඩ සටහන අතර මග ඇණ හිටියේ ය. ඒ ඇණ හිටීමට පසුබිම් වූයේ එම වැඩ සටහනේදී සිංහල මුස්ලිම් කෝලාහලය පිළිබඳව එල් බී ලියන ලද අදහසකට එවකට මෙල්බනයේ අණසක පතුරවාගෙන සිටි අන්තවාදීන් දැරුණු ප‍්‍රහාරයක් එල්ල කිරීම ය.
”ඒ පහර දීම හින්දා මට ලියන එක එපා වුණා පුතා” අප හමුවී කතා කළ පළමු දවසේම එල්බී මට කීවේ ය. නොසඟවාගත් කළකිරීමක් ඒ කටහඬෙහි විය.
මට එල්බී හමුවන්නේ අහම්බයකිනි. ඒ 2000 වසරේදී යයි සිතමි. ඒ හමුවීමට පාර කැපුවේ මෙල්බනයේ හිටපු කොන්සල් බන්දු දිසානායකයි. ඔහු එක් දිනෙක දුරකතනයෙන් මා ඇමතුවේ අපූරු කාරියක් බාර දෙන්නටය.
”මල්ලි අපේ එල්බී කවි පොතක් ලියලා.. මං ඒක ප‍්‍රින්ට් කරන්නයි හදන්නෙ.. ඔයාට පුලූවන්නං මට ඒ පොත ඩිසයින් කරලා දෙන්න” බන්දු ඉල්ලා සිටියේ ය. මම එකඟ වීමි.
පොතේ නම ”නව මැදිරි කවුළුවෙන්” විය. ගිලන්ව රෝහල් ගතව සිටින ලේඛකයකු නවවන තට්ටුවේ තමාගේ කාමරයේ කවුළුවෙන් පිටත බලා සිටිද්දී දැනෙන සිතිවිලි රැසක් ඒ පොතට ඇතුල්කොට තිබුණි.
ඒ යුගයේ තිබුණ ඞීඑස් කළණී ෆොන්ට් එකෙන් මම පොත සැළසුම් කළෙමි. පොත ගැන කතා කරගන්නට එල්බී රොක්ස්බර්ග් පාක්හි අපේ නිවසට දින දෙක තුනක් ආවේ ය. පිටකවරය වෙනුවෙන් අදහස් කීපයක්ම
මම ලේඛකයා වෙත ඉදිරිපත් කළෙමි. ඔහු අවසානයට කැමැත්ත දුන්නේ මේ සමග දැක්වෙන පිට කවරයට ය.
”මේක තමයි මගේ හිතේ තිබුණ පිට කවරය” ඔහු කීවේ ය.

ඔහුගේ කවි පොත පිළිබඳ කතා බහ අප දෙදෙනා සමීප කරවන්නට සමත් විය. ඔහු ඉතා නිර්ව්‍යාජ ලෙස මා සමග කතා කළේ ය. විවෘතව කතා කළේ ය. මේ වයෝවෘද්ධ ලේඛකයා තරුණයකු වූ මා සමග කළ කතා බහ අදත් මගේ සිතේ දෝංකාර දෙයි.
”මං රේඩියෝ එකට ලිව්වෙ හරිම ආසාවෙන් පුතා.. අන්තිමේ මුං මාව වටකරගෙන පහර දෙන්න ගත්තා.. මට ලියන එක එපා වුණා.. මං ලිවීම අත්ඇරදැම්මා... මේ කවි පොත තමයි මං එයින් පස්සෙ ලිව්ව එකම ලියවිල්ල . සමහර විට මේක තමයි මගේ අන්තිම ලිවීමත්” ඔහු කීවේ ය. නොලියූ කාලය පිළිබඳ ඔහු සිත තුළ තිබූ පසුතැවීම මට හොඳහැටි දැනුණි. ලේඛකයකුගේ අත් බැඳ තැබෙන විට දැනෙන වේදනාව මට තේරුම් ගත හැකි ය.
ඒ කාලයේ මා සිටියේ මෙල්බනයේ එවකට තිබූ එකම ශ‍්‍රී ලාංකික පුවත්පත වූ ඉංග‍්‍රීසියෙන් පළ වූ සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල අතිරේකය සංස්කරණය කරමින් ය. මේ නිහඬ ලේඛකයා නැවත අවදි කර ගත යුතු යයි මගේ සිත කීවේ ය.
”එහෙම නෙවෙයි අංකල්.. අපි ආයෙම ලියමු.. පොඩියට හරි පටන් ගමු.. මට ලියල එවන්න” මම ඇවිටිලි කළෙමි. ඔහු දැඩිව ප‍්‍රතික්ෂෙප කළේ ය. බොහෝ වතාවක් ඇවිටිලි කරන විට ඔහු මඳක් මෘදුවනු මට දැනුණි.
”මම කවියක් ලියා එවන්නම්” ඔහු අවසානයේදී කීවේ ය. මම සතුටින් ඉපිළ ගියෙමි.
ඔහු ලියා එවූ කවිය මම සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල අතිරේකයේ විශේෂ තැනක් දී පළ කළෙමි. ඔහු මහත් සතුටට පත්විය. එල්බී ඒකනායක නම් වන ලේඛකයා නැවත පණලබා එනු මම මහත් තෘප්තියකින් බලා සිටියෙමි. ඔහු මාස තුනක් හතරක් පත්තරයට ලිව්වේ ය. ඒ අතරේ අර අවාසනාවන්ත ප‍්‍රවෘත්තිය බන්දු දිසානායක මට ලබා දුන්නේ ය.
”එල්බීට අමාරුයි මල්ලි.. ආයෙම ඉස්පිරිතාලෙ .. මේ පාරනම්..” බන්දු අයියා කෙටියෙන්ම කතාව හමාර කළේ ය. නොකියූ කොටස මට තේරුම් ගන්නට හැකි ය.
බන්දු ඉක්මණින්ම ”නවමැදිරි කවුළුවෙන්” පොත මුද්‍රණය කළේ ය. මුද‍්‍රණය කළ පොත් රෝහලේ සිටි එල්බීට දුන් බව ආරංචි විය.
මම රෝහලට ගොස් එල්බී හමුවුණෙමි. ඔහු ඇඳේ වාඩි වී සිටියේ ය. පොත් මිටියක් ඔහුගේ පසෙකින් විය. ඔහු මහත් සතුටකින් දෝතින්ම සිය පොත මට දුන්නේ ය. මම කඳුළු සඟවා ගනිමින් ඒ පොත මහත් බැතියෙන් බාර ගතිමි.
”මම ගෙදර ගිය ගමන්ම ආයෙම ලියන්න පටන් ගන්නවා පුතා..” ඔහු කීවේ ය ”.. ඊළඟ මාස දෙකට කවි පන්ති දෙකක් මම ....... ට බාරදුන්නා පුතාට යවන්නය කියලා. එයා ඒක එවාවි” එල්බීගේ උද්‍යෝගිමත් කටහඬ මට ඇසෙයි.
”ඒක හොඳයි අංකල්.. අපි දිගටම ලියමු” මම කීවෙමි. එහෙත් ඔහුගේ කාලය ඉතා කෙටි බව මම ඒ වන විටත් දැනගෙන සිටියෙමි. රෝහලේ විදුලි සෝපානයෙන් පහළට එද්දී මට මගේ කඳුලූ සඟවාගන්නට නොහැකි විය.
ඒ දිනයට පසුවදා එල්බී අප හැර ගියේ ය.
මගේ රාජාලි පියාපත කවි පොතේ ආ මේ කව ලියුවේ එල්බී වෙනුවෙනි.
ගිලන් යහනත
නවා අතු පතර විලෝ ගස් පෙළ
සළා පිනි කඳුළු අතොරක් නැතිව අතු අගින්
බලා සිටියා ය විසල් ගොඩනැගිලි අබියස
මේ මහා රෝහල් බිමේ කෙළවරක
නවා ගත් හිස් ඇති මිනිසුන්
පුරා මෙ බිම සරා ගිය අයුර
නවවෙනි තට්ටුවේ වාට්ටුවේ
රෝගීව සිටි කවියා බලා සිටියේ ය
කුඩා මේසය කෙළවරක
කඩදාසි සහ පෑන ද
බලා සිටියේය වැළපෙමින්
අකර්මණ්‍යව සිටි කවියා දෙස
නොමිනිසුන් මිනිස් වෙස් ගත්
තලා දැමු සිත රිදුම් දුනි
රෝගී වූ ෙසෙල සියොළඟ පුරා
පීඩා දුන්නාට බෝ වැඩියෙන්
නොලිව් කවි පද සිරව හදවත තුළ
හඩා වැටුණා කළල වේසයෙන්
අලූත් කවි මල් පිපුණා ය රහසින්
ගිලන් යහනට ඉහළින්
ලියන්නට බොහෝ දේ ඉතිරිව ඇත
නොලියූ බොහෝ දේ ඇත සිත තුළ
ලියන්නට පටන් ගමි හෙටම
මහත් ආවේගයෙන් කීවේ ය කවියා
අවසන් හුස්ම හෙළුෑ දිනට පෙරදින
ජීවිතය යනු හමුවීම් සහ වෙන්වීම් රැසක එකතුවක් බව ඇත්ත ය. එහෙත් ඒ වෙන්වීම් අපේ සිතේ තබා යන වේදනාව විඳ ගැනීම කොයි තරම් අපහසු කාරියක්ද?
පසු සටහන
එල්බී ලියූ අන්තිම කවි කීපය අර බාරදුන් අය ඒවා මට එවුවේ නැත. ඇයිදැයි නොදනිමි. එසේම එල්බීගේ මේ කවි පොත කිසිදිනෙක එළිදැක්වුණේ ද නැත. එයට හේතුවද මම නොදනිමි.
Monday, October 7, 2019
ශනිදා සාදය පස්වන වසරට..... මෙල්බන් රේඩියෝවේ ආගිය කතා...
මෙල්බන් රේඩියෝවේ ආගිය කතා
”ඒ කාලෙ අපි රේඩියෝ එක ඉවර වෙලා එළියට බහිනකොටම කෝල් එකක් එනවා.. එක්කො ඞීබී (කුරුප්පු).. නැත්නම් එල්බී (ඒකනායක).. රේඩිියෝ එකේ කතා කරද්දි අපි අතින් වැරදියට කියවුණ වචනයකට පවා අපට හොඳටම දෙහි කැපුවා” ඕස්ටේ‍්‍රලියාවේ ගුවන් විදුලියකින් සිංහලෙන් කතා කළ පළමු නිවේදකයා - උපා උපදාස අතීතය අවදි කරමින් කියයි.
”අපි හැමදේම කළේ හරිම සැළසුම් සහගතව.. වැඩසටහන පටන්ගන්න පූර්විකාව ගැන පවා අපි හුඟක් සාකච්ඡුා කරනවා.. වැදගත් යමක් කියන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කළේ” ස්වර්ණා උපදාස මහත්මිය කියයි. මෙල්බන් ගුවන් විදුලියේ පළමු කණ්ඩායමේ සිටි ඇයට කියන්නට බොහෝ මතක සටහන් ඇත.
![]() |
| ප‍්‍රසන්න කුරුකුලරත්න |
බන්දු දිසානායක, සෑම් වීරරත්න, ෂ්‍යාමන් ජයසිංහ, රෝහණ කරුණාරත්න, අනෝජා කරුණාරත්න වැනි ප‍්‍රවීණයන්ට මෙල්බන් ගුවන්විදුලියේ අතීතය ගැන කියන්නට බොහෝ දේ තිබුණි. පසු කලෙක ගුවන් විදුලියට එක් වූ අසෝක සිල්වා, නෙළුම් අමුණුගම, නුවන් සමරපති, වරුණ සාවින්ද, ගාමිණී රණසිංහ, සෙව්වන්දි අබේරත්න, අමරසිංහ අමුණුගම වැනි ගුවන්විදුලි ශිල්පීන් ශිල්පිනියන් වරින් වර සිය මතකය අවදි කරන්නේ සඟවාගත් කණගාටුවක්ද සමගින් ය. ඒ සියළු කතාබහ අවසන් වූයේ එක් තැනකිනි.
”රේඩියෝ එක අහපු කාලයක් මතක නැහැ”
ඒ ප‍්‍රකාශය අතීතයේ 3zzz ගුවන්විදුලිය හා එක්ව සිටි අය අතරින් අදත් එහි ගුවන්විදුලි වැඩසටහනක් කරන මගේ සිතේ ඇති කරන්නේ වේදනාවකි.
3zzz ගුවන්විදුලි සේවය මෙල්බන් ප‍්‍රජා ගුවන්විදුලි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. ඒ ඔස්සේ ගුවන්ගත වූ පළමු වැඩ සටහන සිංහල වැඩසටහන වීම අහම්බයකි. සැබැවින්ම ඒ ආරම්භක දිනයේ සිංහල වැඩ සටහන තිබුණේ දෙවන වැඩ සටහන ලෙස ය. පළමු වැඩ සටහන කළ අයගේ නොදැණුවත්කම නිසා ඔවුන් මැදිරියේ සිට ඉදිරිපත් කළ ද ඒ වැඩ සටහන ගුවන්ගත වුණේ නැත. ශ‍්‍රාවකයන්ට අසන්නට ලැබුණ පළමු වැඩසටහන වූයේ දෙවෙනි වැඩසටහන වූ සිංහල වැඩ සටහනයි. එය ඉදිරිපත් කළ නිවේදකයා උපා උපදාස යි.
පළමු දා සිටම ගුවන්විදුලිය සමග අසන්නෝ රොද බැඳගත් හ. එය අපේ ප‍්‍රජා සන්නිවේදනයේ වැදගත් ස්ථානයක් හෙබ වූ අතර දැඩි කැපවීමෙන් වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදක නිවේදිකාවන් සේම නිෂ්පාදකයන් නිසා වැඩ සටහනේ ගුණාත්මකභාවයද ඉතා ඉහළ මට්ටමක විය. එල් බී ඒකනායක ඞීබී කුරුප්පු වැනි වියත්තු ඒ වටා රැුඳෙමින් අවවාද අනුශාසනා දුන්හ. ප‍්‍රමිතිය රැුකගත්හ. එල්බී ඒකනායක ලියූ ”සිංගරුපාය” වැනි උසස් ගුවන්විදුලි නාට්‍ය පවා ගුවන්ගතවුණේ ඉතා අඩු පහසුකම් යටතේ ය. ඒ අතීතය රසවත්ය. ඒ ගැන කතා කරන්නට බොහෝ රසමුසු තැන් අපමණ ය.
1999 දී හෝ 2000 දී පමණ මගේ පළමු ගුවන්විදුලි සාකච්ඡුාව නිෂ්පාදනය කළේ රෝහණ කරුණාරත්න ය. නිවේදකයා වූයේ ආනන්ද බාලසූරිය ය. පටිගතකිරීමේ ඩිජිටල් තාක්ෂණය නොතිබුණ එදා විශාල ස්පූල් දෙකක් සහිත පටිගතකිරීමේ යන්ත‍්‍රයකින් රෝහණ ඒ සාකච්ඡුාව පටිගත කළ හැටි මට තවම මතක ය. මගේ දෙවන සාකච්ඡුාව මෙල්බන් මාධ්‍ය ක්ෂෙත‍්‍රයට ඉතා වැදගත් වූ සාකච්ඡුාවක් වූයේ යයි අද මට සිතෙයි. එවකට ආරම්භ කර තිබූ සෙරෙන්ඩිබ් නිව්ස් ඉංග‍්‍රීසි පුවත්පතේ සිංහල පිටුව බාරගෙන කරන්න යයි එහි සංස්කාරකවරුන් වූ ගීතිකා හා විරෝෂ් පෙරේරා මට ආරාධනා කළේ එදා 3zzz ගුවන්විදුලියේ දී ය. එතැනින් ආරම්භ වුණ මෙල්බන් සිංහල පත්තර කලාව කොයි තරම් දුරට ගියාදැයි නැවත ලියන්නට අදහස් නොකරමි. දන්නෝ දනිති.
ඒ දෙවන සාකච්ඡුාව කළේ උපා උපදාස යි. මගේ ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා පොත සම්බන්ධයෙනි. එදා ඒ ප‍්‍රවීණ නිවේදකයා මුලූ පොතම කියවා වැදගත් තැන් සටහන් කරගෙන පැමිණ සිටි අතර ඒ සාකච්ඡුාව ඉතා අර්ථාන්විත එකක් විය.
”සීඞී දෙක තුනක් අරගෙන ඇවිත් මොනවා හෝ කියවා යන රේඩියෝ එකක් නෙවෙයි අපි එදා කළේ.. හැම දේටම ඉතා හොඳින් සූදානම් වුණා.. සතියක් පුරා පොත පත කියවලා කරුණු හොයාගෙන තමයි අපි මැදිරියට ආවෙ.. එයා ටයිම් එකේ තියෙන වටිනාකම අපි හොඳට දැනගෙන හිටියා.. ඒ එක්කම මේ මාධ්‍යය ගැන අපි හොඳට අධ්‍යයනය කළා.. ඉගෙනගන්නෙ නැතුව කොහොමද මාධ්‍යයක් කරන්නෙ?”
මගේ මතකය නිවැරදි නම් 2000 දී හෝ 2001 දී පමණ දිනෙක රෝහණ කරුණාරත්න මට දුරකතන ඇමතුමක් දුන්නේ ය.
”අපි අලූත් රේඩියෝ ටීම් එකක් හදනවා.. ඔයාගෙ නමත් යෝජනා වෙලා තියෙනවා.. එන්න අපි එක්ක මේ වැඬේට” ඔහු ආරාධනා කළේ ය.
”මම ආරාධනා කළාට ජගත් එකපාරටම බැහැයි කිව්වා” රෝහණ අද ඒ මතකය අවදි කරයි.
සැබෑවකි. මෙල්බන් සමාජසේවා වැඩ වලට බසින්නට මගේ කැමැත්තක් නොවීය. මට අවශ්‍ය වූයේ මගේ හුදෙකලාවේ නිමග්න වී මගේ නිර්මාණ කටයුතුවල යෙදෙන්නට ය. එහෙත් රෝහණ සිය උත්සාහය අත්නොහැරීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ අපි අලූත් කණ්ඩායමක් ලෙස ගුවන්විදුලිය බාරගැනීම ය. අසෝක සිල්වා අපේ කැඳවුම්කරු විය. ඒ කණ්ඩායමෙන් මම තවමත් 3zzz ගුවන්විදුලිය හා සම්බන්ධව සෙනසුරාදා උදේ 7ට ශනිදා සාදයෙන් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව අමතමින් සිටින්නෙමි. සෙනසුරාදා උදේ 7ට ශනිදා සාදය මගේ සිතැඟියාව අනුව ස්වාධීනව කරගෙන යන්නට මට අවසර දීම පිළිබඳව සිංහල කමිටුවට මගේ ස්තුතිය හිමිවිය යුතුය.
ප‍්‍රවීණ නිවේදිකා තේජා කටුගම්පොළත් මමත් දැන් වසර හතරක් තිස්සේ ශනිදා සාදය ගෙන ඒමේ දුෂ්කර ව්‍යායාමය විඳ ගනිමින් සිටින්නෙමු. උදෑසන 7ට නැගිට ගුවන්විදුලියට සවන්දෙන ශ‍්‍රාවක ප‍්‍රජාවක් ගොඩනැගීමේ අභියෝගය ජයගත්තෙමු.
ශනිදා සාදය මේ මාසයේදී වසර හතරක ගමනක් සම්පූර්ණ කර පස්වන වසරට පිය තැබුවේ ය. ජනප‍්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් මෙල්බන් ප‍්‍රජාවට බෙදා දෙන්නට හැකිවීමේ සතුට මේ මොහොතේ අපි විඳ ගනිමින් සිටින්නෙමු.
මේ කුඩා සටහන ලිව්වේ ඒ සතුට වෙනුවෙන් ය.



















